මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ ඔක්සිජන් භාවිතය විධිමත් කිරීම සහ ප්‍රමිතිකරණය කිරීම සඳහා වූ ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එළිදැක්විණි.

දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවති අඩුපාඩුවක් සපුරාලමින්, රුපියල් බිලියන ගණනක වාර්ෂික පිරිවැයක් දැරීමට සිදුවන ඔක්සිජන් සැපයුම වඩාත් විද්‍යාත්මක සහ කාර්යක්ෂම ක්‍රමවේදයකට යටත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම මාර්ගෝපදේශ එළිදැක්වීමට සමගාමීව, දිවයින පුරා රෝහල්වල සේවය කරන සෞඛ්‍ය වෘත්තිකයන් දැනුවත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇත. ඒ යටතේ ප්‍රථමයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුහුණු කරනු ලබන අතර, ඔවුන් හරහා දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත මෙම තාක්ෂණික දැනුම ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, රජයේ රෝහල්වල ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඔක්සිජන් වෙනුවෙන් රජය වාර්ෂිකව අතිවිශාල පිරිවැයක් දරන බවයි.

නිසි කළමනාකරණයක් නොමැති වීමෙන් සිදුවන නාස්තිය අවම කිරීමත්, රෝගීන්ට අවශ්‍ය නිවැරදි ඔක්සිජන් මාත්‍රාව විද්‍යාත්මකව තහවුරු කිරීමත් මෙම මාර්ගෝපදේශ හරහා සිදුවනවා. මෙය කාලීන අවශ්‍යතාවක්,” යැයි අමාත්‍යවරයා පැවසීය.

යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ දැනටමත් තිස්සමහාරාම, අවිස්සාවෙල්ල, උඩුගම සහ කෑගල්ල යන රෝහල්වල ඔක්සිජන් උත්පාදක ඒකක සාර්ථකව පිහිටුවා ඇත. එමගින් එම රෝහල්වල අවශ්‍යතාව සපුරා ගැනීමට අමතරව අසල පිහිටි අනෙකුත් රෝහල් වෙත ද ඔක්සිජන් සැපයීමේ හැකියාව පවතී.

Share.
Leave A Reply