සංචාරක ව්‍යාපාරයට බාධාවකින් තොරව ඉන්ධන සැපයීමට අමාත්‍ය විජිත හේරත්ගෙන් උපදෙස්
පවත්නා ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය බිඳවැටීමට නොදී ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය විශේෂ තීරණ කිහිපයකට එළඹ තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති රැස්වීමේදී මෙම තීන්දු ප්‍රකාශයට පත් කෙරිණි.
සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන්ට සහ ප්‍රවාහන සේවාවලට බලශක්ති අර්බුදයෙන් එල්ල වන බාධා වැළැක්වීමටත්, ඔවුන්ට අවශ්‍ය ඉන්ධන බාධාවකින් තොරව ලබාදීමටත් විධිමත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කෙරේ.
දැනට ලෝකයේ යුදමය තත්ත්වයන් නොමැති සාමකාමී රටවල් ඉලක්ක කර ගනිමින් මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට තීරණය විය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර චිත්‍රපට රූපගත කිරීම් සඳහා සුදුසුම ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේදී පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගැනේ.
සංචාරක ආකර්ෂණය දිනාගත් හෝටල් සහ පොදු ස්ථානවල පහසුකම් ඉහළ නැංවීමටත්, කොළඹ නගරයේ බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමටත් උපදෙස් දී ඇත.
බලශක්ති අර්බුදය හමුවේ පීඩාවට පත් සංචාරක ව්‍යාපාරිකයන්ට කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට අමාත්‍යවරයා මෙහිදී එකඟතාව පළ කළේය.

