පාස්කු කුමන්ත්‍රණයේ සුළමුල්ල හෙළි කරන “මහ මොළකරු සොයා යෑම” පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වෙයි.

“මාලිමාව ජනතාව මුලා කළා!” – සාක්ෂි සහිතව පාස්කු මහ මොළකරු හෙළි කරන බවට ගම්මන්පිළගෙන් ප්‍රබල අනාවරණයක්.

වසර ගණනාවක් තිස්සේ මෙරට දේශපාලන ක්ෂේත්‍රය කැළඹූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැබෑ “මහ මොළකරු” කවුරුන්ද යන්න ලබන මාර්තු 31 වනදා සාක්ෂි සහිතව රටටම හෙළි කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

වත්මන් රජය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංවේදී සිදුවීම සම්බන්ධයෙන් ජනතාව හමුවේ පවසන කරුණු අසත්‍ය බවත්, ඔවුන් ජනතාව මුලා කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේය.

තමන් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ විධිමත් පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස “පාස්කු මහා මොළකරු සොයා යෑම” නමින් පර්යේෂණ ග්‍රන්ථයක් සම්පාදනය කර ඇති බවත්, එය ලබන මාර්තු 31 වනදා පස්වරු 3:00 ට කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී එළිදැක්වීමට නියමිත බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රහාරය පිටුපස සිටින නියම මහ මොළකරු කවුරුන්ද යන්න අදාළ ග්‍රන්ථය හරහා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පිල්ලයාන් හෝ සලේ වැනි පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පවසමින් ජාතික ජන බලවේගය (මාලිමාව) මැතිවරණ සමයේ සහ ඉන් පසුවත් ජනතාව මුලා කළ බව පැවසූ ගම්මන්පිළ මහතා වත්මන් පාලනය විසින් සිදු කරන විමර්ශනවල පවතින දුර්වලතා පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කළේය.

“අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මේ ආණ්ඩුව පාස්කු මහ මොළකරු ගැන සැබෑ තොරතුරු රටට සඟවනවා. මම මේ හෙළිදරව්ව කරන්නේ වගකීමෙන්. මාර්තු 31 වැනිදාට මේ රටේ ජනතාවට සැබෑ ඇත්ත දැනගන්න පුළුවන් වේවි.” යනුවෙන් ඔහු පැවසීය.

මෙම හෙළිදරව්වත් සමඟ මෙරට දේශපාලන කරළියේ මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලද දැවැන්ත හැරවුම් ලක්ෂයක් සිදුවනු ඇතැයි ද හෙතෙම කීය.  

Share.
Leave A Reply