කොළඹට එන පළමු බස් රථ 10 හම්බන්තොට වරායට….. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය තුළ මෙතෙක් අවධානයට ලක් නොවූ ආබාධ සහිත තැනැත්තන්ගේ ගමනාගමන අයිතිය තහවුරු කරමින්, ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂ ‘ප්‍රමුඛතා බස් රථ සේවාවක්’ ලබන මස සිට ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන තීරණය කර ඇත.
රුපියල් මිලියන 430.7ක පිරිවැයක් දරා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ රෝද පුටු භාවිතා කරන සහ වෙනත් ආබාධ සහිත පුද්ගලයන්ට කිසිවකුගේ සහයකින් තොරව ස්වාධීනව ගමන් බිමන් යාමට අවශ්‍ය පරිසරය සකස් කිරීමයි.
පළමු අදියරේ බස් රථ 10ක්
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රෝද පුටු භාවිතා කරන්නන්ට ඉතා පහසුවෙන් ඇතුළු විය හැකි, පතුල පහළ (Low Floor) විශේෂ තාක්ෂණයෙන් යුත් නවීන වායු සමනය කළ බස් රථ 10ක් පසුගිය 10 වැනිදා හම්බන්තොට වරායට ගොඩබා ඇත. මෙම බස් රථ ලබන සෙනසුරාදා කොළඹට රැගෙන ඒමෙන් පසු ‘මෙට්‍රෝ’ සමාගම වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය.
ධාවන මාර්ග සහ රෝහල් සබඳතාව
මෙම සේවාව නියමු ව්‍යාපෘතියක් ලෙස මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වේ.
මාකුඹුර සිට පිටකොටුව දක්වා
මාකුඹුර සිට කඩවත දක්වා
විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල යන ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන සෘජුවම ආවරණය වන පරිදි සෑම විනාඩි 40කට වරක් මෙම බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
සේවක මණ්ඩලයට සංඥා භාෂා පුහුණුව
මෙම විශේෂ සේවාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 28 දෙනෙකුට විශේෂ පුහුණුවක් ලබා දේ. සමාජ සේවා අමාත්‍යාංශය මගින් මෙහෙයවන මෙම පුහුණුවට ආබාධ සහිත මගීන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා වන ‘සංඥා භාෂාව’ ද ඇතුළත් වීම සුවිශේෂී කරුණකි.
අගෝස්තුවේදී තවත් බස් 100ක්
මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව, ලබන අගෝස්තු මාසයේදී තවත් මෙවැනි බස් රථ 100ක් මෙරටට ගෙන්වීමට රජය අපේක්ෂා කරයි. මීට සමගාමීව දිවයිනේ ප්‍රධාන බස් නැවතුම්පොළවල් ද ආබාධ සහිත තැනැත්තන්ට හිතකර වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

