ලංකාවේ 12 හැවිරිදි දරුවන්ගෙන් 30%කට දත් දිරායාමේ රෝගයක්!

වසර 30කින් තත්ත්වය යහපත් අතට – නමුත් අවදානම තවම ඉවර නෑ

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 12ක දරුවන්ගෙන් සියයට 30කගේ දත් දිරායාමේ තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම දත්ත වාර්තා අනාවරණය කරයි. මෙරට අවසන් වරට පවත්වන ලද ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, මෙරට පළමු මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පැවැත්වූ 1982-1983 කාලවකවානුවේදී මෙම අගය සියයට 70ක් වැනි ඉහළ මට්ටමක පැවති අතර, වසර 30ක කාලයක් තුළ එම අගය සියයට 30ක් දක්වා අඩු කර ගැනීමට හැකිවීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයක් බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

මුඛ සෞඛ්‍ය සමීක්ෂණයන් අඛණ්ඩව සිදුකරන ලොව රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද එක්ව ඇත.

මෙම සමීක්ෂණය මෙරට දන්ත වෛද්‍ය නිලධාරීන් සහ පාසල් දන්ත චිකිත්සක නිලධාරීන් විසින්ම සිදු කරනු ලබයි.

ඉදිරි සෞඛ්‍ය සේවා සැලසුම් කිරීම සඳහා දත්ත රැස් කිරීමට නිවෙස් සහ පාසල් වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම්වලට උපරිම සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම සමීක්ෂණය හරහා ලබාගන්නා දත්ත මෙරට දරුවන්ගේ ඉදිරි මුඛ සෞඛ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා අතිශය වැදගත් වන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

Share.
Leave A Reply