“දිට්වා” සුළි කුණාටුවෙන් කර්මාන්ත අංශයට රු. බිලියන 33.96ක හානියක් – පීඩිත කර්මාන්ත 43ක් නැවත නැගිටුවීමට IRFP වැඩසටහන සාර්ථකව අවසන්

2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් මෙරට නිෂ්පාදන කර්මාන්ත අංශයට රුපියල් බිලියන 33.96ක පමණ විශාල ආර්ථික හානියක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ආපදාවෙන් පීඩාවට පත් කර්මාන්ත නැවත ගොඩනැගීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කළ Industry Recovery Foster Program (IRFP) වැඩසටහනේ පළමු අදියර ඊයේ (10) සාර්ථකව නිමා විය.

මෙම වැඩසටහන යටතේ පීඩිත කර්මාන්ත 43කට ප්‍රමුඛ පුද්ගලික සමාගම් රැසක් සහය ලබාදී ඇති අතර, ආපදා අවස්ථාවක කර්මාන්ත ක්ෂේත්‍රයට ලබාදුන් එම දායකත්වය අගය කිරීමද මෙහිදී සිදු කෙරිණි.

මූලික තක්සේරු අනුව, මෙම හානියේ වැඩිම කොටස අමුද්‍රව්‍ය හා තොග සඳහා (රු. බිලියන 10.2) වාර්තා වී ඇති අතර, ආදායම් අහිමිවීම්, යන්ත්‍රෝපකරණ හානි සහ සැපයුම් දාම බිඳවැටීම් ද දැඩි බලපෑම් ලෙස හඳුනාගෙන ඇත.

එමෙන්ම කර්මාන්ත ආපදා දත්ත රැස් කිරීම සඳහා Industry Disaster Support Center (IDSC) පිහිටුවීමට ද ස්වේච්ඡා තාක්ෂණික සහාය ලබාදුන් පුද්ගලයන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

තවද, කර්මාන්ත දිගුකාලීනව සංවර්ධනය කිරීම සඳහා Industry Development Foster Program (IDFP) නමින් නව වැඩසටහනක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.

Share.
Leave A Reply