රජයේ වාණිජමය නොවන ආයතන 124ක් පිළිබඳ තීරණ ක්‍රියාත්මක කිරීම සමාලෝචනයට ජනාධිපති හමුවක්!
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩලය 2025 මාර්තු 17 දින ගත් තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධීක්ෂණය සඳහා පත් කළ නිලධාරි කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
රජයට අයත් වාණිජමය නොවන ආයතන 124ක් සම්බන්ධයෙන් කාණ්ඩ 9ක් යටතේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එම ආයතන කිහිපයක් වත්මන් අවශ්‍යතා අනුව යාවත්කාලීන නොවීම, ප්‍රමාණවත් බලතල නොමැතිවීම, සමාන කාර්යයන් ඉටු කරන ආයතන කිහිපයක් පැවතීම සහ එම කාර්යයන් පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂමව ඉටු කළ හැකි වීම ආදී කරුණු සලකා බැලීමෙන් මෙම තීරණ ගෙන ඇත.
අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කාර්තුමය වශයෙන් අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමේ වගකීමද මෙම කමිටුවට පැවරී ඇති අතර, තීරණ ක්‍රියාත්මක කිරීමේ වර්තමාන තත්ත්වය සහ එහිදී පැනනැගී ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

