2011 වසරේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට සිදු වූ අතිවිශාල පාඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල් මහතාට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමේදී පනවා තිබූ කොන්දේසි සහිත මාස තුනක සහන කාලය (10) දිනෙන් අවසන් වී ඇතැයි ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය පවසයි.

එම සහන කාලය අවසන් වීමත් සමඟ, නියමිත වන්දි මුදල ගෙවා තිබේද සහ නොගෙවා ඇත්නම් ඔහුට එරෙහිව යළි අධිචෝදනා ගොනු කරන්නේද යන්න ප්‍රශ්න කරමින් එම සංවිධානය අද (11) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් කරුණු විමසා සිටියේය.

රුපියල් බිලියන 1.3ක වන්දිය 2025 දෙසැම්බර් 10 වන දින අංක 2025/137 යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව, දූෂණ විරෝධී පනතේ 67(1) වගන්තිය ප්‍රකාරව කබ්රාල් මහතාට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගනු ලැබුවේ කොන්දේසියක් මතයි

එම කොන්දේසිය වූයේ, අදාළ වරදින් සිදු වූ අලාභය ලෙස ගණනය කර ඇති රුපියල් 1,343,267,595.65 (රුපියල් එකසිය තිස් හතර කෝටි තිස් දෙලක්ෂ හැට හත් දහස් පන්සිය අනූ පහයි සත හැට පහක) මුදල මාස 3ක් ඇතුළත මහ බැංකු ගිණුමට බැර කළ යුතු බවයි.

දූෂණ විරෝධී පනත සහ මීළඟ පියවර අදාළ මාස 3ක කාලසීමාව 2026 මාර්තු 10 වන දිනෙන් අවසන් වූ බව පෙන්වා දෙන අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා, දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය ප්‍රකාරව අදාළ වන්දි මුදල ගෙවා නොමැති නම් ඔහුට එරෙහිව යළි අධිචෝදනා ගොනු කළ යුතු බව අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය:

“අධිකරණය සහ අල්ලස් කොමිසම ලබාදුන් එම සහන කාලය ඊයේ අවසන් වුණා. මහජන මුදල් රුපියල් කෝටි 134ක් යළි රජයට ලැබුණාද? එසේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කර නැවත නඩු පවරන්නේ කවදාද? යන්න පිළිබඳව රටට හෙළි කළ යුතුයි. වංචාවට හා දූෂණයට එරෙහිව නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි.”

මෙම සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමාජය දැඩි අවධානයෙන් පසුවෙයි.

Share.
Leave A Reply