“ඇය වේ දැයක පෙරමග” – අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම මාතරදී උත්කර්ෂවත්ව
[දිනය: 2026 මාර්තු 08 | මාතර]
“පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙරමග” යන තේමාව පෙරටු කරගනිමින්, 2026 වසරේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (08) මාතර, රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
වාර්ෂිකව මාර්තු මස 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් මෙම නිල සැමරුම සංවිධානය කර තිබුණි. රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ සවිබල ගැන්වුණු, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරන කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජිකාවන් 1500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.
කාන්තාව යනු අභියෝග හමුවේ නොසැලෙන මහා ශක්තියක් – අමාත්‍ය සරෝජා සාවිත්‍රි
උත්සවය අමතමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඉතා හැඟුම්බර සහ දිරිගන්වනසුලු අදහස් දැක්වීමක නිරත වූවාය.
“කාන්තාව කියන්නෙ ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පෙන්වන ලේබල් එකක් නෙවෙයි. කාන්තාවක්, එහෙම නැත්නම් මම වැඩිපුරම කැමති විදියට කිව්වොත් ‘ගැහැණියක්’ කියන්නෙ ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටිය හැකි මහා ශක්තියට කියන සමාන පදයක්.”
රට ආර්ථික අර්බුදයට පත් වූ අවස්ථාවේ විදේශ රැකියා සඳහා ගොස් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වූ කාන්තාවන්ගේ කැපකිරීම ඇය මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක් කළාය.
“රට දේශපාලනිකව, ආර්ථිකව සහ සමාජයීයව අර්බුදයට පත්වෙද්දි… දරු පැටියාව නිවසේ තබා ගව් ගණනක් දුර ඈත රටවලට ඔබ ගියේ… මේ දේශයම ජීවත් කරවන්නට ඩොලර් සෙවීමේ අරමුණින්. ඒ වැගිරූ හැම කඳුළු බිඳුවකටම, හැම දාඩිය බිඳුවකටම වටිනාකමක් ලබා දෙන යුගය දැන් උදා වී තිබෙනවා.”
අසාධාරණ සමාජ දෘෂ්ටිකෝණයන් නිවැරදි කිරීමේ අභියෝගය – නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන
සමස්ත සමාජය තුළ කාන්තාව දෙස බලන ආකාරයෙහි වෙනසක් ඇති වීමේ අවශ්‍යතාවය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පෙන්වා දුන්නේය.
“ස්ත්‍රී – පුරුෂ සමාජභාවය වැරදි සහගත ලෙස වර්ගීකරණය කරමින් ගොඩනැඟුණු අසාධාරණ සමාජ දෘෂ්ටිකෝණයන් නිවැරදි කිරීමේ අභියෝගය අප අද භාරගෙන සිටිමු. එම පටු ආකල්පවලින් මිදී, ස්ත්‍රිය සතු මානුෂීය ශක්තිය සහ ඇගේ සැබෑ භූමිකාව හඳුනා ගැනීම අපගේ ප්‍රමුඛතම ජීවන දර්ශනය බවට පත් ව ඇත.”
කාන්තා ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්වේ
මෙම ජාතික සැමරුමේදී දිවයිනම නියෝජනය කරමින් දිස්ත්‍රික් මට්ටමින් තේරී පත් වූ හොඳම කාන්තා ව්‍යවසායිකාවන් 25 දෙනෙකු අග්‍රාමාත්‍යවරිය අතින් ඇගයීමට ලක් විය. මීට අමතරව, ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව සවිබල ගැන්වූ ව්‍යවසායිකාවන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරුණි.
උත්සවය අතරතුර, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය මගින් ප්‍රකාශයට පත් කළ “කාන්තා සවිය” සඟරාවේ විශේෂ කලාපය අග්‍රාමාත්‍යවරිය ඇතුළු සම්භාව්‍ය අමුත්තන් වෙත පිළිගැන්වීම ද සිදු විය.
විද්වත් දේශනය සහ සංස්කෘතිකාංග
කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ආරාධිත දේශනය රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර මහත්මිය විසින් පවත්වන ලදී. ජාතික සැමරුම විවිධ දර්ශනීය සංස්කෘතිකාංගයන්ගෙන් ද වර්ණවත් විය.
සම්භාව්‍ය අමුත්තන්ගේ සහභාගීත්වය
මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සුසිරිපාල මානවඩු, කාර්මාන්ත සහ ව්‍යවසයකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනි වික්‍රමසිංහ, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්ම මහත්මීන් ද, ඉන්දුනීසියාව, වියට්නාමය ඇතුළු විදේශීය තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ද සහභාගී වූහ.
එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්, මහජන නියෝජිතයින්, කලාකරුවන්, අමාත්‍යාංශ නිලධාරීන්, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසමේ සාමාජිකාවන් සහ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
————————————————————————————
මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයින්ගේ මඟපෙන්වීමෙන් ඇරඹි ඒ වෘත්තීයමය ගමන් මඟෙහි 05 වන දින පියවර! 🎬🎙️
ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යාපනයේ පීතෘවරයෙකු බඳු වූ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්, ප්‍රවීණ නීතිඥ නිමල් ජී. පුංචිහේවා සහ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ඇසිදිසි මැදුරේදී ඇරඹි “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” ජනප්‍රිය ගීත රචකයෙකු සහ කතුවරයෙකු වන රාජ්‍ය සාහිත්‍ය සම්මානිත ජපානයේ සම්භාවනීය “බුන්කා” සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සමාජ විද්‍යා සහ මානව විද්‍යා අංශයේ හිටපු දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර | ශ්‍රී ලාංකේය රූපවාහිනී සහ ගුවන්විදුලි ක්ෂේත්රයේ විශ්වසනීයත්වයේ සලකුණක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සාන් විජේතුංග මහතා /👨🎓 කර්තෘ | ප්‍රධාන කර්තෘ | ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි | පිටපත් රචක | රූපවාහිනී හා වේදිකා රංගන ශිල්පී | නාට්‍ය අධ්‍යක්ෂක | මාධ්‍ය සහ ප්‍රචාරණ උපදේශක, දර්ශනපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා / 🎭 ප්‍රවීණ නිදහස් මාධ්‍යවේදි, වාර්තා චිත්‍රපට නිෂ්පාදක සහ බීබීසී සිංහල සේවයේ ආරම්භක සාමාජික, ලේඛක නන්දන වීරරත්න මහතා /
📡 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි කොල්වින් ජයවීර මහතා වැනි විද්වතුන්ගෙන් පෝෂිතව සාර්ථකව පිය නගන 05 වන දිනය සඳහා ඔබ සැමට ආරාධනා…!
——————————————————
📅 දිනය: 2026 මාර්තු 13 (සිකුරාදා)
⏰ වේලාව: සවස 1:30 සිට 5:00 දක්වා
📍 ස්ථානය: කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය
🌐 ලියාපදිංචිය සඳහා පිවිසෙන්න: https://newsandimage.org/media-studies-training/
0703750478 | 0703750538 | 0783930551 ______________
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

