ඇමරිකාව සමඟ ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් අනාගතයේ ජාත්‍යන්තර යුද්ධ ගැටුම්වලට ශ්‍රී ලංකාවද ඇදෙන්න පුළුවන් බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අනතුරු ඇඟවීය.

කොළඹදී අද (05) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඇමරිකාව සමඟ අත්සන් කර ඇති ACSA සහ SPP වැනි ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම ඇමරිකානු සබ්මැරීනයක් ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වී තිබේද යන්න පිළිබඳව රජය පැහැදිලි කිරීමක් කළ යුතු බවද ඔහු සඳහන් කළේය. එවැනි යාත්‍රාවක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඇත්නම් ඒ සඳහා අවසර ලබාදුන්නේ කවුරුන්ද යන්න රජය වහාම හෙළිදරව් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

තවද ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමරිකාව විවේචනය කිරීමෙන් වැළකී සිටින බවත්, නමුත් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කළ අවස්ථාවලදී පමණක් ප්‍රකාශ නිකුත් කරන බවත් ඔහු චෝදනා කළේය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බල කඳවුරු අතර පැත්තගැනීමෙන් වැළකී සිටිය යුතු බවද, ඒ වෙනුවට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වඩාත් සුදුසු බවද නාගමුව මහතා පැවසීය.

ලෝක බල සටන තවදුරටත් උත්සන්න වන අවස්ථාවක ශ්‍රී ලංකාව ඇමරිකාව හෝ චීනය යන බල කඳවුරු කිසිවක් සමඟ සෘජුව සම්බන්ධ නොවී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම රටේ ආරක්ෂාව සඳහා වැදගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply