මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි, දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක්, 26 වෙනිදා විද්‍යාලයේ ප්‍රධාන දොරටුවේ මල් කළඹ බැගින් දවටා වැඳ නමස්කාර කර,ගෞරව දක්වා වසර එකොළහක් අධ්‍යාපනය ලැබූ පාසලට කෘතගුණ දැක්වීමේ සංවේදී පුවතක් අපට වාර්තා වුණි.

 ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් අනූඅට දෙනකුට පෙනී සිටි අතර, ඔවුන් පළමුව    මල් පහන් ගෙන විද්‍යාලයේ  බුදු මැදුර වෙත පෙළට පා ගමනින් ගොස් පන්සිල් සමාදන් වීමෙන්, අනතුරුව විභාග රාජකාරි කටයුතු කළ ගුරුවරුන්ටද වැඳ නමස්කාර කිරීමට අමතක නොකළහ. 

විවිධ ප්‍රදේශවලින් පාසල් සිසුන් විභාග අවසන් වීමෙන් අනතුරුව, පාසලට මෙන්ම සමාජයට නොහොබිනා අකටයුතුකම්ද හා ඇතැම් විට සාද පවා පවත්වා රණ්ඩු සරුවල් වී සමාජයට වැරදි ආදර්ශ දෙන වකවානුවක් ලීලාරත්න විජේසිංහ මහ විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මූණ දුන් සිසුන් සමාජයටත්, සමස්ත පාසල් සිසුන්ටත් ඉතා වටිනා ආදර්ශයකි.

ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ හය වසරේ සිට දහතුනක වසර දක්වා පාසල් සිසුන් පන්සිය දෙදෙනෙකු අධ්‍යාපනය ලබන අතර එම විද්‍යාලයේ ගුරුවරුන් හතළිස් එක්දෙනකු සේවය කරති.

 එන්. රෝහණී මල්කාන්තී මහත්මිය මෙම විද්‍යාලයේ විදුහල්පතිනිය වන අතර, නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරන අරලගංවිල සීලවංශාලංකාර නාහිමියන්  විද්‍යාලයේ දරුවන් සුමකට ගැනීම සඳහා දැඩි කැපවීමක් සහ උත්සාහයක් ගනිමින් සිටීමද සැමට ආදර්ශයකි.   

ලීලාරත්න විජේසිංහ මහ විද්‍යාලයේ විභාග රාජකාරී කටයුතුවල නිරත වූ ගුරුවරුන් සඳහන් කළේ, තමන් මෙවැනි යහපත් උතුම් ක්‍රියාවක් සහ ගෞරවයක් දැක්වූ පළමු අවස්ථාව බවත්, මෙම ආදර්ශය රටටත් ලෝකයටත් පූර්වාදර්ශයක් බවයි.පාසල් සිසුන් විභාග අවසන් වී සිදුකරන ක්‍රියාවන් ඉතා කණගාටු දායක බවත්, එවන් යුගයක, ලීලාරත්න විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සිදුකළ ආදර්ශ ක්‍රියාව අගය කොට සලකන බවත්, ඕනෑම ගුරුවරයෙකු සහ දෙමව්පියෙකු බලාපොරොත්තු වන්නේ මෙවන් යහපත් සිසු පරපුරක් බවයි.

මනම්පිටිය නිමල් ජයරත්න

Share.
Leave A Reply