ග්‍රාම නිලධාරීන් ආපදා සහන සේවා නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවක සංගම් 5ක ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක්!

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විස්තීර්ණ ආපදා තත්ත්වයට සම්බන්ධ සියළුම රාජකාරිවලින් අද (27) සිට අඛණ්ඩව ඉවත් වීමට රාජ්‍ය සේවක වෘත්තීය  සංගම් පහක්  ඒකාබද්ධව තීරණය කර තිබේ.

මේ සඳහා රජයේ සේවකයන් 16 000 ක් සහභාගි වන බවත් මේ අනුව දිට්වාවලට සම්බන්ධ සියලුම රාකාරි සම්පුර්ණයෙන්ම නතර වන බව ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි ජාතික සංගමයේ ලේකම් නෙවිල් විජේරත්න මහතා පොදු සංගමය වෙනුවෙන් ප්‍රකාශ කර සිටියේ ය.  

මෙම තීරණය ගෙන ඇත්තේ, සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය,ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ග්‍රාම නිලධාරී සංගමය, සමස්ත ලංකා මධ්‍යම රජයේ තාක්ෂණික සංගමය සහ සිවිල් නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය යන සංගම් ඒකාබද්ධවය මගිනි.

එම සංගම් නිකුත් කළ සාමුහික නිවේදනයක් මඟින් රාජ්‍ය ආයතන 12කට, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විෂයභාර අමාත්‍යවරුන් ඇතුළු වගකිවයුතු අංශ ප්‍රධානීන් වෙත ලිඛිතව මෙම තීරණය දැනුම් දී තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයට මේ වන විට දින 93කට අධික කාලයක් ගත වී තිබේ.

එම කාලය පුරා ආපදා සහන සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් දිවා රෑ නොබලා රජය හා පීඩාවට පත් ජනතාව අතර සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කර තිබේ.

බොහෝ නිලධාරීන් තම ජීවිත අවදානම නොතකා, පවුල්වලට පවා හානි සිදුව තිබියදී, කිසිදු අතිරේක වරප්‍රසාදයක් නොලැබ සේවය කළ බව ද සංගම් සඳහන් කරයි.

“වචන වලට පමණක් පොරොන්දු – ක්‍රියාත්මක කිරීම නැහැ” යැයි ද සංගම් ප්‍රකාශ කර සිටියහ.

මේ අනුව සංගම් පවසන්නේ, නිසි මූල්‍ය විනයක් සහිත චක්‍රලේඛ නිකුත් නොවීම, උපදෙස් පරස්පර වීම, කෙටි කාලයකින් නිතර සංශෝධන, සාකච්ඡා මගින් එකඟ වූ කරුණු ක්‍රියාත්මක නොකිරීම,දීමනා හා ඉන්ධන පහසුකම් නොලැබීම, ආරක්ෂක උපකරණ නොදීම යනාදී ගැටළු හේතුවෙන් නිලධාරීන් දැඩි පීඩනයකට පත්ව ඇති බව ද සාමූහිකව නිකුතු කළ නිවෙද්නයේ සඳහන් කර තිබේ.

ප්‍රධාන ඉල්ලීම් 7ක් සම්බන්ධයෙන් ද ඔවූහු අවධානය යොමු කර තිබේ.සංගම් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් අතර, ආපදා රාජකාරි ආරම්භ වූ දින සිට දෛනික දීමනාවක්, අවම වශයෙන් දින 08ක අතිරේක දීමනාව,මුල් මාස දෙක සඳහා ඉන්ධන දීමනාව හා ඉදිරියට ලීටර් 20 බැගින්, හානි පරීක්ෂා සඳහා අයදුම්පත් එක්කයකට රු. 250/-,මාර්ගෝපදේශ සංශෝධනය, සාධාරණ වන්දි ගෙවීම, ග්‍රාම නිලධාරීන්ට ආරක්ෂක උපකරණ ඇතුළත් වේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආපදා සහන කටයුතු සහ වන්දි ගෙවීම් කාර්යයන් ප්‍රමාද විය හැකි බවට සැලකිල්ලක් මතුවී ඇත.

එහෙත්, මහජනතාවට සිදුවිය හැකි අපහසුතා පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන සංගම්, මෙම තත්ත්වයට වගකිව යුත්තේ අදාළ පරිපාලන බලධාරීන් බව අවධාරණය කර සිටිති.

ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

Share.
Leave A Reply