බාල ඉමියුනොග්ලොබීන් වංචාවට සමාන සිද්ධියක්…
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අල්ලස් කොමිසමෙන් ඉල්ලයි.
ලංකාවට ආනයනය කරන ලද ගල් අඟුරු නැව් නවයකට ආසන්න ප්‍රමාණයක් තුළ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු අඩංගු බවට තහවුරු වී ඇති බැවින් මේ හරහා රජයට සිදුවී ඇති ආර්ථික අලාභය හා මේ නිසා සිදුව ඇති සෞඛ්‍ය හානිය සැලකිල්ලට ගෙන මෙම සම්පූර්ණ ප්‍රසම්පාදන යාන්ත්‍රණය සම්බන්ධව පුළුල් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් පවත්වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් කොමිසම වෙත (25) ලිඛිතව පැමිණිල්ලක් භාර දෙනු ලැබීය.
අල්ලස් කොමිසම ස්වාධීනව සහ අපක්ෂපාතී අන්දමට කටයුතු කරන බවට ප්‍රකාශ කළ දෑ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් මෙන්ම හිටපු මහ බැංකු අධිපති අජීක් නිවාඩ් කබ්‍රහල් සම්බන්ධ සිදුවීමේදී ගනු ලබන තීරණ ජනතාව ප්‍රශ්න කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ගල් අඟුරු ප්‍රමිතියෙන් බාලවීම නිසා මේ වන විට රුපියල් මිලියන 8000 කට ආසන්න පාඩුවක් සිදු වී ඇත බවත්, අදාළ පාඩුව සම්බන්ධව වගකිව යුතු සියලු දේශපාලකයින් සහ රාජ නිලධාරීන් සම්බන්ධයෙන් අපක්ෂපාතිකව පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ සියලු දෙනාටම අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
බාල ගල් අඟුරු නිසා සිදුව ඇති ආර්ථික හා බලශක්ති හානියට අමතරව ප්‍රදේශීය ජීවත් වන ලක්ෂ දෙකකට ආසන්න ජන සංඛ්‍යාවක් තුළ පිළිකා රෝග වැළඳීමේ ඉහළ අවධානමක් ද පවතින බැවින් මෙම සිදුවීම සුළුකොට තැකීමට අල්ලස් කොමිසමට නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේ ය.

