“අධිකරණයෙන් වරදකරුවෙක් නම් නඩු අංකය ඉදිරිපත් කරන්න” – සුනිල් වටගල
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදය දැඩි උණුසුම් තත්ත්වයකට පත් වූහ.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ බලශක්ති අමාත්‍යවරයා කිසිදු අධිකරණයකින් වරදකරුවෙකු ලෙස තීන්දු කර නොමැති බවයි. “වරදකරුවෙක් නම් නඩු අංකය මෙහි ඉදිරිපත් කරන්න” යැයි ඔහු විපක්ෂයට සෘජුව අභියෝග කළේය.
ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් යම් තාක්ෂණික ගැටලුවක් ඇතිවී තිබේ නම් ඒවා නිවැරදි කිරීමට කටයුතු කර ඇති බවත්, අවශ්‍ය වන්නේ නම් අදාල සමාගමෙන් වන්දියක් අය කිරීමටද පියවර ගෙන ඇති බවත් ඔහු අවධාරණය කළේය.
“දැන් නීතිය කාටත් පොදුයි. අපේ කෙනෙකුටත් එක නීතියයි, වෙනත් කෙනෙකුටත් එක නීතියයි” යැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, හිටපු ප්‍රබලයන් පවා පරීක්ෂණ ආයතන වෙත පැමිණෙන බව සඳහන් කරමින් ශිරන්තී රාජපක්ෂ මහත්මිය FCID වෙත පැමිණි බවත්, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය CID වෙත කැඳවා ඇති බවත් කියා සිටියේය.
එහෙත්, සමගි ජන බලවේගය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කම්කරු විනිශ්චය සභාවක් මඟින් බලශක්ති අමාත්‍යවරයා මීට පෙර ධූරයෙන් ඉවත් කර ඇති බවයි. එම කරුණ අල්ලස් කොමිසමට ද දැනුම් දී ඇති බවත්, අවශ්‍ය නම් අදාළ අංක ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් නැවත ප්‍රතිචාර දක්වමින් සුනිල් වටගල මහතා අවධාරණය කළේ “අධිකරණ තීන්දුවක් නොමැතිව චෝදනා ගොඩනඟා ජනතාව නොමඟ යැවීම අසත්‍ය ප්‍රචාරයක්” බවයි.
ගල් අඟුරු ගනුදෙනුව, නීතිමය වගකීම් සහ දේශපාලන චෝදනා පිළිබඳව රටේ අවධානය මේ වනවිට දැඩි ලෙස යොමුව ඇති අතර, විපක්ෂය හා ආණ්ඩුව අතර මෙම ගැටුම ඉදිරියටත් උණුසුම් වීමට ඉඩ ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙති.

