දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන හරහා මෙරටින් ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට හැකිවනු ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ අද (18) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පැවති සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඕෂනි උමංගා මහත්මිය විසින් නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ වර්තමානය වන විට වාර්ෂිකව ළමා ශ්‍රමය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව 10ටත් අඩු මට්ටමක පවතින බවයි. එමඟින් මෙරට ළමා ශ්‍රමය සම්බන්ධ ගැටලුව සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, අවිධිමත් රැකියා ක්ෂේත්‍රයන්හි ළමා ශ්‍රමය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා විශේෂ නීතිමය හා පරීක්ෂණාත්මක ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සඳහන් කළේය.
ගත වූ වසරේ කම්කරු දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි වලින් 99%කට වැඩි ප්‍රතිශතයක් එම වසර තුළදීම විසඳා අවසන් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. මාස 12කට වැඩි කාලයක් ගත වී ඇත්තේ 0.12%ක් පමණ පැමිණිලි සඳහා බවද ඔහු සඳහන් කළේය.
එහෙත් ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින්, ඒවා විසඳීමට සැළකිය යුතු කාලයක් ගත වන බවද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රජය ප්‍රකාශ කරන්නේ “ප්‍රජා ශක්ති” වැඩසටහන හරහා ආර්ථික අපහසුතා හේතුවෙන් ළමා ශ්‍රමයට යොමු වන පවුල් ශක්තිමත් කරමින්, දිගුකාලීන විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවයි.

