(01)
නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පලකරමින් නීතිඥවරු ඊයේ (16) සිය සේවා කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නවයේ විභාගයට ගැනුණු නඩු කටයුතුවලට බාධා පැමිණ තිබුණි.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු එහි සෙසු අධිකරණවල නඩු කැඳවීමක් සිදු කෙරුණ නමුත් නීතිඥවරු කිසිවෙකුත් එම නඩු කටයුතු වෙනුවෙන් කරුණු දැක්වීමට නොපැමිණීම නිසා සියලුම නඩු කල්තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රමුඛ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සෙසු අධිකරණ අටේ අතිරේක මහේස්ත්‍රාත්වරුන් පියවර ගෙන තිබුණි.
ඇතැම් නඩු කැඳවන අවස්ථාවන්හිදී එම නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණ භූමියේ රැඳී සිටිය නමුත් විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිමින් සිය සේවා දායකයන් වෙනුවෙන් කරුණු දැක්වීමක් සිදු කලේ නැත.
ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළව ඩයනා ගමගේට එරෙහිව පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය කැඳවීමට නියමිතව තිබූූ නමුත් ඒ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගෙන එම නඩුව මෙම මස 24 දින දක්වා කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දින නියම කළේය.
ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී නොසිටියද නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නීතිඥවරුත් තිදෙනෙක් ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මීට අමතරව පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රූපලාවන්‍යය ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව ඊයේ හඳුනා ගැනීමේ පෙරටුවක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එම පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පෙනී නොසිටීම සැලකිල්ලට ගෙන එම පෙරට්ටුව හෙට (18) දින දක්වා කල් තැබීමට නියෝග කෙරුණු අතර එතෙක් එම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කිරීමටද අධිකරණයෙන් නියම විය.
නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී නොසිටියද පැමිල්ලේ පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටින පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර කොළඹ අධිකරණයේ සියලුම නඩු කටයුතුවලට සම්බන්ධ බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අයුරුද දක්නට ලැබුණි.
ඇතැම් නීතිඥවරුන් විවෘත අධිකරණය තුළට ගොස් නඩු කටයුතු සම්බන්ධයෙන් කරුණු දැකීමක් සිදු නොකළ නමුත් ඔවුන්ගේ සේවා දායකයන්ගේ නඩු කැඳවන අවස්ථාවන්හිදී මහේස්ත්‍රාත්වරුන් දෙන නියෝග කුමක් ද යන්න පිළිබඳවදැන ගැනීම සඳහා ඔවුන් එම විවෘත අධිකරණවල දොරටු අසල සිට සවන්දී සිටින අයුරුද දැකගැනීමට ලැබුණි.
නීතිඥවරුන් සිය සේවා කටයුතුවලින් ඉවත්වීම නිසා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නවයේ නඩු කටයුතු පෙරට වඩා වේලාසනින් අවසන් කෙරුණි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකත්වය ලත් දිවයින පුරා විසිරී සිටින සාමාජිකයන් තුන්දහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පෙරේදා (15)කොළඹදී සාකච්ඡාවක් පැවැති අතර අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ නන්නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දැක්වීමක් වශයෙන් ඔවුන් ඊයේ දිවයින පුරා පිහිටි අධිකරණවල නඩු කටයුතු වලින් ඉවත්වීමට තීරණයක් ගෙන තිබුණි.
මේ අතර කොළඹ අධිකරණවල මෙන් දිවයින පුරා පිහිටි සෙසු සියලුම අධිකරණවල නඩු කටයුතුවලින් නීතිඥවරු ඉවත්වීම හේතුවෙන් එම අධිකරණවල නඩු කටයුතුවලටද බාධා පැමිණ ඇති බවද වාර්තා විය.
(02)
අද 17 වැනිදා ආරම්භ කෙරුණු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින පාසල් ශිෂ්‍යයාවක් පෙරේදා 15 වැනිදා පෙරවරුවේ කෑගල්ල මහ රෝහලේ දී දරුවෙකු ප්‍රසුත කර ඇතැයි කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වෙයි.
මෙලෙස දරුවෙකු ප්‍රසුත කර ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ පදිංචිව සිටින වයස අවුරුදු 16 යි මාස 11 වයසැති පාසල් ශිෂ්‍යයාවකි.
දරුවෙකු ප්‍රසුත කර ඇති පාසල් ශිෂ්‍යයාවගේ පියා කලකට ඉහතදී අසනීප තත්ත්වයක් උස්සන වීමෙන් පසුව මිය ගොස් ඇත. මව ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන්ගේ තේ දළු නෙලා සොයා ගන්නා මුදලකින් පාසල් ශිෂ්‍යයාව සහ ඇගේ වැඩිමහල් එකම සහොදරයාට විය පැහැදම් කරමින් තිදෙනා නිවසේ ජීවත් වෙමින් තිබේ. වැඩිමහල් එකම සහොදරයා දැනට කොළඹ ප්‍රදේශයේ ආයතනයක රැකියාවක් කිරීමට නිවසින් පිටව ගොස් තිබේ.
මෙම පාසල් ශිෂ්‍යයා කලකට ඉහතදී පාසල් යන එන ශිෂ්‍යයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති අතර එම සම්බන්ධතාවය ද කලක සිට ග නතර කර දමා ඇති බව පාසල් ශිෂ්‍යයාව ඊයේ 16 වැනිදා රෝහලේ බලධාරින් සමග ප්‍රකාශ කර තිබේ. එම පාසල් ශිෂ්‍යයා සමග ඇති කර ගත් ප්‍රේම සම්බන්ධතාවයේ ප්‍රතිථලයක් ලෙස දරුවා උපත ලැබූ බවත් පාසල් ශිෂ්‍යයාව වැඩිදුරටත් දන්වා තිබේ.
පෙරේදා 15 වැනිදා අලුයම පාසල් ශිෂ්‍යයාව දරුවා ප්‍රසුත කිරීමට සුදානම් වී ඇති අවස්ථාවේ දී මව විසින් දියණියට අසනීපයක් යැයි පවසා පාසල් ශිෂ්‍යයාව ත්‍රීරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. පසුව පාසල් ශිෂ්‍යයාව පෙරේදා 15 වැනිදා පෙරවරුවේ දරුවෙකු ප්‍රසුත කර ඇති අතර දියණිය දරුවෙකු ප්‍රසුත කිරීම සම්බන්ධයෙන් මව දැන ගෙන ඇත්තේ ඉන් අනතුරුව බවත් වාර්තා වෙයි.
දරුවා දැනට කෑගල්ල මහ රෝහලේ පසු ප්‍රසව වාට්ටුවේ නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කර තිබේ.
පාසල් ශිෂ්‍යයාවගේ වයස අවුරුදු 16 යි මාස 11 වීම හෙතුවෙන් බාල වයස්කාර තැනැත්තියක් නොවීම හෙතුවෙන් නීතිමය පැත්තෙන් ඇයට පිළි සරණක් නොමැති බවත් පරිවාස අධීක්ෂණය යටතේ සහනයක් ලබා ගත හැකි බවත් පොලිසිය පැවසීය. පාසල් දැරිය අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙමින් රෝහල් කාර්ය මණ්ඩලය ඊයේ 16 වැනිදා ඇය නිවස බලා පිටත් කර යැවීමට කටයුතු සිදු කර තිබුණි.
(03)
යක්කල පක්ෂ කාර්යාලය පෙරටුගාමීන්ටද? ජවිපෙටද? තින්දුව ලබා දීම දෙවන වරටත් කල් යයි.
යක්කල කිරිඳිවැල පාරේ සල්මල් පෙදෙසේ පිහිටි පක්ෂ කාර්යාලය සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති වූ ආරවුල පිළිබඳ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසුව පෙබරවාරි දෙවන දා ඒ පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට තිබු අතර මහෙස්ත්‍රාත්තුමිය නොමැති හෙයින් අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාන මහතා විසින් පෙබරවාරි 16වනදා දක්වා කල් තබනු ලැබිය. එහෙත් ඊයේ දින දෙපාර්ශවයේම නීතිඥවරුන් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරිම මාර්තු 16 දිනට කල්තබනු ලැබිය.
බද්දේගම අධිකරණයේ නීතීඥයෝ කාර්යාලවල “කලු කොඩි” ඔසවති
අකුරේගොඩ දී නීතිඥයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ට විරෝධය පළ කිරීම සඳහා බද්දේගම අධිකරණ සංකීර්ණයේ නීතීඥවරු 16 වෙනිදා නඩු කටයුතුවලින් ඉවත්ව සිටියහ.
බද්දේගම දිසා අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ 16 වෙනිදා පැවති නඩු වෙනුවෙන් කිසිදු නීතීඥයෙක් පෙනී නොසිටි බව බද්දේගම නීතීඥ සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
බද්දේගම අධිකරණ සංකීර්ණය අසළ නීතීඥ කාර්යාල වසා දමා “කලු කොඩි” ප්‍රදර්ශනය කර තිබිණ. නඩු සඳහා 16 වෙනිදා අධිකරණයේ පෙනී නොසිටින බවට ද නීතීඥ කාර්යාලවල දැන්වීම් ප්‍රදර්ශනය කර ඇති ආකාරය ද දක්නට ලැබිණි.
බද්දේගම නීතීඥ සංගමයේ විශේෂ රැස්වීමක් 16 වෙනිදා උදෑසන 10ට බද්දේගම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී පැවති අතර, නීතීඥ වෘත්තීය සහ අධිකරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කරන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව නෛතික පියවර ගැනීමට ද එහිදී තීරණය කර ඇත. ඒ පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැනුවත් කිරීමට ද තීරණය කර ඇත.
(05)
පසුගියදා ඝාතනයට ලක්වුණු නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතාට සහ ඔහුගේ බිරිඳට සිදුවූ අවාසනාවන්ත සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා බදුල්ල නීතිඥ සංගමයේ සාමාජිකයින් ඊයේ (16) නඩු කටයුතු වලින් ඉවත්වී විරෝධතාවයක් දැක්වූ බව බදුල්ල නීතිඥ සංගමයේ වත්මන් සභාපති නීතිඥ ධනුෂ්ක වැලිගම මහතා සඳහන් කලා.
ඔහු මේබව සඳහන් කලේ බදුල්ල අධිකරණ සංකීර්ණයේ රැස්වීම් ශාලාවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
බදුල්ල අධිකරණයේ පැවති සියලු නඩු කටයුතු වලින් සහ කාර්යාලවල සේවයෙන්ද ඉවත් සිටිනා බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.
ඒ අනුව සියලූම නීතිඥයින් අධිකරණ භූමියටවී සිටිනා අයුරුද දැකගත හැකිවුණා.
(06)
කල්මුණේ නීතිඥ සංගමයේ විරෝධතාවය
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ ඛේදජනක සිදුවීම හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කල්මුණේ ශාඛාවේ සංවිධානය යටතේ අද (16) උදෑසන කල්මුණේ අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් පැවැත්විණි.
අද උදෑසන 9.00 ට කල්මුණේ නීතිඥ සංගමයේ සාමාජිකයින්ගේ විශේෂ මහා සභා රැස්වීමකින් පසු ගත් යෝජනාවට අනුව, “නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන්න”, “නීතිඥයින්ට ආරක්ෂාව සපයන්න” ඇතුළු විවිධ සටන් පාඨ කියමින් සහ එය පිළිබිඹු කරන බැනර් රැගෙන කළු පටි පැළඳ නීතිඥවරු විරෝධතා දැක්වූහ.
මෙම සිද්ධිය නීති වෘත්තිය තුළ දැඩි කම්පනයක් සහ බියක් ඇති කර ඇති බව සංගමයේ නියෝජිතයින් පැවසූහ. කල්මුණේ ශාඛාවේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ අරික්ක කාරියප්පර් මිය අවධාරණය කළේ නීතිඥයින්ට බියෙන් තොරව තම වෘත්තීය රාජකාරි ඉටු කළ හැකි ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කළ යුතු බවයි.
“නීතිඥවරයෙකුට පහරදීම සමස්ත අධිකරණයටම පහරදීමක්. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම රජයේ වගකීමකි. වැරදිකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ගැනීම සඳහා කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බව ” ඇය පැවසුවාය.
.ඊයේ කොළඹ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගත් අතර නීති වෘත්තියේ ආරක්ෂාව සහ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මතුව ඇති බිය ප්‍රකාශ කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
(07)
කුරුණෑගල අධිකරණ සංකීර්ණය ඉදිරිපිට කළු කොඩි ඔසවා සියලූම නීතිඥයින් 800 ක පමණ පිරිසක් දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කරමින් නීිතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ කෲර ලෙස ඝාතන කිරිම සම්බන්ධයෙන් නිහඬ විරෝධතාවක නිරත වූහ.
අධිකරණ සංකීර්ණයේ සිට කුරුණෑගල නගරයේ පාගමනින් වීදි සංචාරය කිරීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටට පැමිණ ඝාතනය කළ නිතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් රජයෙන් සහ වගකිවයුතු අංශවලින් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටි අතර
කොළඹ අලූත් කඬේ ප‍්‍රධාන නීතිඥ සංකීර්ණයේ දී සමස්ත ලංකා නීතිඥ සංගමය විසින් ගත් තීරණයකට අනුව ප‍්‍රාදේශීය මට්ටමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි අද (16* නිතිඥයින් සිය නඩු කටයුතුවලින් ඉවත් වී ඝාතනය කළ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් යුක්තිය ලබා ගැනීම සදහා මෙම විරෝධතාව පැවැත්වූ බව කුරුණෑගල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සංජීව විජ්පාල මහතා පැවසීය.
රටේ සියලූම පුරවැසියන්ට නීීතියේ ආධිපත්‍යය අනුව එක හා සමාන අයිතියක් තිබිය යුතු බැවින් ඕනෑම නඩු කටයුත්තකදී නීතිඥයෙකුට තම සේවා දායකයා වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය තිබෙන බවත් එය තවත් කෙනෙකුට අභියෝගයට ලක් කළ නොහැකි වන අතර ඕනෑම නඩු කටයුත්තක දී ඒ ඒ පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය නීතිඥ ආචාර ධර්මවලට අනුකූලව ඇති බවත් යම් නීතිඥවරයෙක් පෞද්ගලිකව පෙනී නොසිටියත් රජය මගින් හෝ නීතිඥයෙකු ඒ වෙනුවෙන් ඉදිරිපත් කරවීමට බැඳී සිටින බවත් කුරුණෑගල නීතිඥ සංගමයේ සභාපතිවරයා පැවසීය
(08) අකුරේගොඩ දී නීතිඥයෙකුට සහ ඔහුගේ බිරිදට වෙඩි තැබීමට එරෙහිව විරෝධය පාමින් නිතිඥ සංගමයේ තීරණයක් අනුව නුවරඑලිය ශ්‍රේෂ්ඨාධිකරණයේ, මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණයේ පෙනී සිටින සියලුම නිතිඥයින් (16) දින නඩු කටයුතු වලින් ඉවත් කිරිමට තිරණය කර ඇත.
නිතිඥ සංගමයේ තිරණයක් අනුව (16) දින නඩු කටයුතු වලින් ඉවත් වන බවට නුවරඑළිය දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් ලංකාංගනි ප්‍රබුද්ධිකා මෙනවිය වෙත දැනුම් දිමෙන් පසු තමන් අධිකරණ කටයුතු වලින් ඉවත් වු බවයි නීතිඥවරුන් කියා සිටියේ.
නුවරඑලිය ශ්‍රේෂ්ඨාධිකරණයේ, මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණයේ (16) දින කැදවූ නඩුවල නීතිඥයන් පෙනී සිටින සියලුම නඩු වෙනත් දිනයක කැදීවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළෙය.
(09)
අකුරේගොඩ දී නීතිඥයෙකුට සහ ඔහුගේ බිරිදට වෙඩි තැබීමට එරෙහිව විරෝධය පාමින් නිතිඥ සංගමයේ තීරණයක් අනුව හැටන් මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණයේ පෙනී සිටින සියලුම නිතිඥයින් අධිකරණයේ කළු කොඩියක් ඔසවා (16) දින නඩු කටයුතු වලින් ඉවත් කිරිමට තිරණය කල බව එම නීතිඥ සංගමයේ සභාපති එස්.පාර්තිබන් මහතා පැවසිය.
තම සංගමයේ තිරණයක් අනුව (16) දින නඩු කටයුතු වලින් ඉවත් වන බවට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පොල් මහතා වෙත දැනුම් දිමෙන් පසු තමන් අධිකරණ කටයුතු වලින් ඉවත් වු බවයි පාර්තිබන් මහතා කියා සිටියේ.
හැටන් දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණයේ (16) දින කැදවූ නඩුවල නීතිඥයන් පෙනී සිටින සියලුම නඩු වෙනත් දිනයක කැදීවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළෙය.
(10)
රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ,ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු සමග 02/15 දින රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් තිදෙනාම කොළඹ ,වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 සහ 28 වයස් වල පසුවන පිරිමි දෙදෙනෙකු සහ 35 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි . ඔවුන් අතරින් එක් පුද්ගයෙකු ඔවුන් පදිංචි ප්‍රදේශයේ ” ස්පා ” සම්භාහන ආයතනයක් පවත්වා ගෙන යනු ලබන අයෙකි .
ඔවුන් මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඩුබායි වෙත පැමිණ , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් 02/15 දින රාත්‍රී 07.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු අතර වූ එක් ගමන් මල්ලක් තුළ ,පැකැට් 60 ක් ලෙස අසුරා සකස් කළ , “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 16 යි ග්‍රෑම් 400 ක් සගවා ගෙන සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් තිදෙනා 02/16 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තවදුරටත් රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතය .
(11)
සූරියවැව,වැවේගමදී අයියා මලෝ දෙදෙනා එක්ව ජයටම ගිණි අවි නිශ්පාදනය කර අලෙවි කරලා.සැකකරුවන් අත්අඩංගුවට.
සූරියවැව වැවේගම ප්‍රදේශයේදි බළපත්‍රයක් නොමැතිව ගිණි අවි නිශ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු අයියා මලෝ දෙදෙනෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒ්කකයේ නිළධාරින් විසින් 15 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව වැවේගම හා සූරියවැව වැලිආර පදිංචි අවුරුදු 35ත් 40 අතර වන අයියා මලෝ දෙදෙනෙකි.
සැකකරුවන් සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒ්කකයේ නිළධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.සැකකරුවන් කම්මලක් පවත්වාගෙන යන අතරතුර කලක් තිස්සේ මෙලෙස විවිධ වර්ගයේ ගිණි අවි නිශ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිට තිබේ.වැටලීමේදී අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3400ක්,මෙරට නිශ්පාදිත බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ යෙදිය හැකි ගිණි අවි දෙකක් හා ගිණි අවි නිශ්පාදනයට ගන්නා කොටස් කිහිපයක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකල මුලික ප්‍රශ්ණ කිරිමේදි අනාවරණය වී ඇත්තේ ගිණි අවි 04ක් මීට පෙර නිශ්පාදනය කර අලෙවි කල බවයි.සැකකරුවන්ගෙන් ලද තොරතුරු ඔස්සේ ගිණි අවි මිළදි ගත් පුද්ගලයන් සම්බන්ධයෙන්ද විමර්ශණ ආරම්භ කර තිබේ.සැකකරුවන් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා සූරියවැව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිගම , තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒ්කකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත කුමාර යන නිළධාරීන්ගේ අපදෙස් පරිදි පොලිස් සැරයන් (44974) මංජුල නිළධාරියා ඇතුළු පිරිසක් විසින් වැටලිම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
(12)
නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කිරීම හෙළා දකිමින් මහනුවර නීතීඥ සංගමයේ සාමාජිකයින් මහනුවර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටට රැස්ව ඊයේ (16) දහවල් විරෝධතාවක නිරත වූහ.
මව් සංගමයේ තීරණයට අනුව ඊයේ (16) දිනයේ අධිකරණ කටයුතු වලට සම්බන්ධ නොවූ මහනුවර නීතීඥ සංගමයේ සාමාජිකයින් මහා සභා රැස්වීමක් කැඳවා ගනු ලැබූ තීරණයකට අනුව මෙම විරෝධතාව දියත් කළ බව මහනුවර නීතීඥ සංගමයේ සභාපති නීතීඥ සුනිල් වීරකෝන් මහතා කීය.
නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඇතුළු සියලු අමානුෂික ඝාතන තම සංගමය හෙළා දකින බවත් මෙම ම්ලේච්ඡ ඝාතන වලට සම්බන්ධ පුද්ගලයින් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

