ලංකාවේ අලි සංරක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව “නිදහස් අලි අරණ” නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. එය පින්නවල අලි අනාථාගාරයේ 51 වන සංවත්සරයට සමගාමීව හඳුන්වා දී ඇත.

1975 පෙබරවාරි 16 දින අනාථ අලි පැටවුන් පස් දෙනෙකු“කුමාරි”, “නිලා”, “කදිරා”, “විජය” සහ “මාතලී”සමඟ ආරම්භ වූ මෙම අනාථාගාරය අද වනවිට ආසියානු අලින් සංරක්ෂණය හා අභිජනනයේ ජාතික මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.

1984 වසරේදී උපන් “සුකුමලී” අලි පැටවා අනාථාගාරයේ පළමු උපත ලෙස ඉතිහාසයට එක්විය. එතැන් සිට මේ දක්වා ස්වාභාවික උපත් 76ක් වාර්තා වී ඇති අතර, 2021 වසරේදී ප්‍රථම නිවුන් අලි උපත සිදුවීම විශේෂ අවස්ථාවක් ලෙස සැලකේ.

වර්තමානයේ අලි 65 දෙනෙකු සටින අතර පිරිමි 27ක් හා ගැහැණු 38ක් අනාථාගාරයේ රැකවරණය ලබති. ආරම්භක අලි අතරින් තවදුරටත් ජීවත්ව සිටින “කුමාරි” (61), “මාතලී” (56) සහ “නිලා” (53) යන අලි, අනාථාගාරයේ ජීවන්ත ඉතිහාසය ලෙස සැලකේ.

අලුතින් හඳුන්වා දුන් “නිදහස් අලි අරණ” වැඩසටහන මඟින් විශේෂයෙන් වැඩිහිටි පිරිමි අලින් “මද” කාලය තුළ ආරක්ෂිතව හා නිදහසේ රැකබලා ගැනීමට අවස්ථාව සලසා දෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අලි සංරක්ෂණය, අභිජනනය, අධ්‍යාපනය, පර්යේෂණ හා සංචාරක ව්‍යාපාරය යන සියලු අංශ සම්බන්ධ කරමින් 51 වසරක ගමනක් සනිටුහන් කරන පින්නවල අලි අනාථාගාරය, ශ්‍රී ලංකාවේ සත්ව සංරක්ෂණ ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය සංකේතයක් ලෙස අදත් රටම අවධානයට යොමු කරන බව ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

Share.
Leave A Reply