කොළඹදී  (15) දින පැවති මාධ්‍ය  හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ හමුදා මූලස්ථානයට ආසන්න ප්‍රදේශයක මහමඟ ඝාතනයට ලක්වීම රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කරන සිද්ධියක් බව ද හෙතෙම පැවසීය.

එම ඝාතනය පාතාල කල්ලි ගැටුමක් ලෙස සමාජගත කිරීමට උත්සාහ කරන බව පෙන්වා දුන් හෙතෙම එවැනි කරුණු මඟින් සිද්ධිය සාධාරණීකරණය කළ නොහැකි බව අවධාරණය කළේය.

සත්තකින්ම “මහමග මිනී මැරුම් දවසින් දවස ඉහළ යනවා. ජනතාවගේ ආරක්ෂාව දුර්වල වෙමින් යනවා. මේක කල්ලියක් අතර සිද්ධියක් කියලා අමතක කරන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.

අපරාධකරුවන්ට අනිසි ප්‍රචාරය ක් ලබා දෙන බවද ඔහු සදුහන් කළේ ය.

අපරාධකරුවන්ට අනිසි ප්‍රචාරයක් ලබා දීමෙන් ඔවුන් සමාජයේ “වීරයන්” ලෙස පෙන්වීමක් සිදුවන බවද නීතිඥ බෝපගේ මහතා චෝදනා කළේය.

මෙයට අමතර ව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමෙන් අපරාධකරුවන් තවදුරටත් අපරාධ කිරීමට උත්සාහ දරණ අවධානමක් රට හමුවේ පවතින බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

නීතිඥ වෘත්තියේ ආරක්ෂාවට ගැටලු සම්බන්ධව ප්‍රශ්න ඇති බව ද ඔහු කීය.

මෙවැනි ඝාතන සිද්ධි සමාජගත කිරීමේ ආකාරය හේතුවෙන් නීතිඥවරුන්ට ආරක්ෂිතව තම වෘත්තියේ යෙදීමට බාධා ඇතිවිය හැකි බව ද ඔහු කීය.

“ඕනෑම පුරවැසියෙකුට නීති සහය ලබා ගැනීමේ අයිතිය තියෙන්න ඕන. ඔහු වරදකරුද නැද්ද කියන එක තීරණය කරන්නෙ අධිකරණය. එතෙක් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ආරක්ෂා කළ යුතුයි,” යනුවෙන් ඔහු මෙහිදි අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාර නඩුව ගැන ප්‍රශ්න රැසක් ඇති බවත හෙතෙම කීය.

මේවන විට පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව සම්බන්ධයෙන්ද බරපතළ ගැටලු පවතින බව ඔහු පැවසීය.

සැකකරුවන් 24 දෙනෙකුට එරෙහිව 23,270ක චෝදනා ගොනු කර ඇති නමුත්, ඔවුන්ගෙන් බහුතරයකට නීතිඥ සහාය නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

නීතිමය රැකවරණය ලබා ගැනීම සැකකරුවන්ගේ මූලික අයිතියක් බව පෙන්වා දුන් ඔහු, එය නොසලකා නඩු ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අධිකරණ සාධාරණත්වයට හානි කරන බව ද හෙතෙම අවධාරණය කර සිටියේ ය.

මෙයට අමතරව නඩුව සම්පූර්ණ විනිවිදභාවයකින් විමර්ශනය නොවන්නේ නම්, සැබෑ වගකිවයුත්තන් බේරී යා හැකි අවධානමක් පවතින බවත්, “හාල්මැස්සෝ අහු වෙලා තෝරු මෝරු බේරෙන්න ඉඩ තියෙනවා” යනුවෙන්ද ඔහු සඳහන් කළේ ය.

රට තුළ නීතිය හා සාධාරණත්වය ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුව වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවද නීතිඥ නුවන් බෝපගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Share.
Leave A Reply