අධ්‍යාපනික, ආර්ථිකමය හා සමාජයීය වශයෙන් පරිවර්තනීය වෙනසක් කරා ගමන් කරමින් පවතින රාජ්‍යයක, අප ජීවත්වීමට ආශා කරන රට, ජීවත් වීමට අපේක්ෂා කරන සමාජය ගොඩනැගීම සඳහා වන ආරම්භය තමා තුළින්ම සිදු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී 14 වන වරටත් පැවති මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව වාර්ෂිකව සංවිධානය කරන මෙම වැඩසටහන ඔස්සේ 2020/2021 වර්ෂයන්ට අදාළව අපොස ස/පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ, තෝරා ගත් සිසුන් 300 කට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය සහය ලබා දීම සිදු විය.
එහිදී පැමිණ සිටි සිසුන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අග්‍රාමාත්‍යවරිය අනතුරුව කියා සිටියේ;
නිදහස් අධ්‍යාපන පද්ධතිය තුළ කිසිදු දරුවෙකු අත් නොහැරෙන සේ අධ්‍යාපනය ලබා දීම සඳහා රජය වැඩසටහන් දියත් කරමින් පවතින මොහොතක මෙවැනි වැඩසටහන් ඔස්සේ දක්ෂ සිසුන්ට ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට උපකාරයක් ලබා දෙන බවත්, මහත්මා ගාන්ධිතුමාගේ නමින් ලබා දෙන මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් එතුමාගේ ජීවිතයෙන් ලබාගත යුතුව පවතින ආදර්ශයන් සිහිපත් කරවන බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
මෙම වැඩසටහනට ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාණ්ඩේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

