01. ශ්‍රී ලංකාව සහ පින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම

ශ්‍රී ලංකාව සහ පින්ලන්තය 1954 වර්ෂයේදී නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර ඇති අතර, මෙම වර්ෂයේදී දෙපාර්ශ්වය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 72 වන සංවත්සරය සමරනු ලබයි. එම කාලසීමාව තුළ දේශපාලන, ආර්ථික, සමාජ-සංස්කෘතික, අධ්‍යාපනික, පාරිසරික හා පුද්ගල සබඳතා මඟින් ශක්තිමත් වූ දෙරට අතර සබඳතාව, සක්‍රීය හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය වී ඇත. දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, පාරිසරික, කොන්සියුලර් සහ සංස්කෘතික ආදී අංශයන්හි සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ බහුපාර්ශ්වික කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට මේ වන විට යෝජනා වී තිබේ. ඒ අනුව, දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ වන අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ පින්ලන්තය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

02. පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව වසර 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම සඳහා සහ වසර 2050 වන විට කාබන් උදාසීනතාව ළඟා කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම අත්‍යාවශ්‍ය වේ. 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත මඟින් ද එකී සැලැස්ම සකස් කිරීමට නියම කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර, යෝග්‍ය ඉඩම් හඳුනාගැනීම සහ ප්‍රමුඛතාව ලබා දීම, පුනර්ජනනීය බලශක්ති සිතියම හා පුනර්ජනනීය බලශක්ති උත්පාදන සංවර්ධනය කිරීමේ කාලරාමුව යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන (03) ආවරණය කරමින් සහ පාවෙන සූර්ය බල ව්‍යාපෘතීන් ද ඇතුළත් කරමින් සකස් කරනු ලැබ ඇති ‘පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030’ බලශක්ති අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා දෙන ලදී.

03. ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි උපදේශන කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීම

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ විවිධ ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘතිවල තිරසරභාවය තහවුරු කිරීමේ ප්‍රධාන අරමුණ සහිතව 2014 වර්ෂයේදී ආරම්භ කර ඇති ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් 2019/2020 හා 2021 වර්ෂයන්හිදී ‘ප්‍රජා ජල අභිමානී’ වැඩසටහන යටතේ නව ප්‍රජා ජල ව්‍යාපෘති 367 ක් ආරම්භ කර ඇත. කොරෝනා වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඒ අතරින් වැඩ නිම කිරීමට නොහැකි වූ ව්‍යාපෘති 175ක් තවදුරටත් ක්‍රියාත්මක කර අවසන් කළ යුතුව තිබේ. එහෙත්, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ වර්තමාන තාක්ෂණික කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත. එබැවින්, එම ව්‍යාපෘති 175 අතරින් අප්‍රමාදව අවසන් කළ යුතුව ඇති ව්‍යාපෘති 48ක වැඩ අවසන් කිරීමට හැකි වන පරිදි, අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන කටයුතු/විමර්ශන කටයුතු සිදු කිරීම, මූලික සැලසුම් සහ සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සකස් කිරීම, ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීම සහ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම් ආදී තාක්ෂණික සේවා 2026-2027 කාලය තුළ මහවැලි උපදේශන කාර්යාංශය වෙතින් ලබා ගැනීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

04. පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සෞන්දර්ය උපකරණ සැපයීම

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ සෞන්දර්ය අධ්‍යාපනය යටතේ සංගීතය, නර්තනය, චිත්‍ර කලාව සහ රංගනය වැනි කලා විෂයයන් ඉගැන්වීම් කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වුවද, බොහෝ පාසල්වල මේ සඳහා අවශ්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බව නිරීක්ෂණය කර තිබේ. එසේම, දරුවන්ගේ අවශ්‍යතාවට ගැළපෙන නවීන උපකරණ පාසල් පද්ධතිය තුළ නොමැති තත්ත්වයක් උදාවී ඇති අතර, පවතින බොහෝ උපකරණ ද යල් පැන ගොස් අබලන්ව ඇති බව වාර්තා වී ඇත. එම තත්ත්වය සෞන්දර්ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට සහ දරුවන්ගේ සමස්ත පෞරුෂ වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරනු ලබන බව පෙනී ගොස් තිබේ. එබැවින්, පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සෞන්දර්ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් රුපියල් මිලියන 1,215ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

05. සබරගමුව පළාත් සභා සංකීර්ණයේ ඉඩකඩ පුළුල් කිරීම සඳහා යාබද ගොඩනැගිල්ලක් ඉදිකිරීම

2003 වර්ෂයේදී ඉදි කරනු ලැබ ඇති සබරගමුව පළාත් සභා සංකීර්ණය තුළ ප්‍රධාන ලේකම් කාර්යාලය, සභා ගර්භය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාල 05ක්, සංවර්ධන සහ පරිපාලන කටයුතු ක්‍රියාත්මක කරනු ලබන විෂයභාර අමාත්‍යාංශ 05ක් පවත්වාගෙන යනු ලැබේ. ඊට අමතරව, එක් එක් විෂයභාර අමාත්‍යාංශ යටතේ ස්ථාපිත දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ අංශ 36ක් එහි ස්ථානගත කර ඇති අතර, 950කට අධික කාර්ය මණ්ඩලයක් එකී සංකීර්ණය තුළ රාජකාරියේ නිරතව සිටී. මේ වන විට සේවක සංඛ්‍යාව සහ ආයතනවල විවිධ අංශ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළයෑම මත එම සංකීර්ණයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විවිධ අපහසුතා මධ්‍යයේ සේවා පවත්වාගෙන යාමට සිදුව ඇත. ඒ අනුව, ප්‍රමාණවත් ඉඩ පහසුකම් සපයා ගැනීමට හැකි වන පරිදි, පළාත් සභා අරමුදල් යොදා ගනිමින්, රුපියල් මිලියන 196.8ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ, සබරගමුව පළාත් සභා සංකීර්ණයට යාබදව මහල් තුනකින් යුත් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

06. 2026-03-15 සිට 2026-09-14 දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත 2026-03-15 සිට 2026-09-14 දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl බැරල් 300,000 ± 5% බැගින් වූ නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා සැපයුම්කරුවන් 06දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්ව, එම කොන්ත්‍රාත්තුව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

07. වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම

දැනට පුරප්පාඩුව පවතින මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසු නිලධාරියෙකු හඳුනා ගැනීම පිණිස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ සුදුසුකම් සහිත නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ. ඒ අනුව, පවත්වනු ලැබ ඇති සම්මුඛ පරීක්ෂණයේදී ඉහළම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී අයි. ජේ. අබේරත්න මහත්මිය එකී තනතුරට පත් කිරීම සුදුසු බවට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත. එම නිර්දේශය මත පදනම්ව, අයි. ජේ. අබේරත්න මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share.
Leave A Reply