ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙකි. මෙම නියෝගය නිකුත් කළේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් අමරානි මුදලිගේ මහත්මිය විසිනි.

පොලිස් විශේෂ යතුරුපැදි බලකායට අයත් මෙම නිලධාරීන්, ගම්පහ අස්ගිරිය – වල්පොල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටියදී යතුරුපැදියක් නොනවත්වා ධාවනය කළ බව සඳහන් කරමින් එම යතුරුපැදිය පසුපස පන්නා ගොස් එහි ගමන් කරමින් සිටි පූජකවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ ඇති වූ සිද්ධියක් හේතුවෙන් පහර දීමක් සිදුව ඇති බවද සඳහන්ය.

මෙම පහරදීමට ලක්වූ පියතුමා, කතෝලික සභාවේ නිකායක් මගින් පාලනය වන කොටදෙණියාව ප්‍රදේශයේ පිහිටි ගොවිපොලක වතු සහයක පරිපාලකවරයෙකු ලෙස කටයුතු කරන අතර, දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍ය පූජාව පැවැත්වීමෙන් අනතුරුව යළි පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.

පූජක වස්ත්‍රයෙන්ම සැරසී සිටි පියතුමාට පොලිස් යතුරුපැදිකරුවන් විසින් පහරදී තුවාල සහිතව මහ මග අතහැර ගොස් ඇති අතර, පසුව ඔහු මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ඇතිබව ද සඳහන්ය.

තමන්ට සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූජකවරයා විසින් කතෝලික සභාවේ ඉහළ පූජකවරු ද දැනුවත් කර ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හයදෙනාගේ රාජකාරි වැඩ තාවකාලිකව තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Share.
Leave A Reply