නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගෙන්වූ තුන්වන ගල් අඟුරු නැවෙහි ගල් අඟුරු ද ප්‍රමිතියෙන් තොර බවට බරපතළ අනාවරණයක් ඉදිරිපත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ඉන්දියානු Trident Kemphar නම් සමාගමෙන් ආනයනය කර ඇති ගල් අඟුරු තොග සම්බන්ධයෙන් මුල සිටම ප්‍රශ්න මතු කළ ද, ආණ්ඩුව හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඒවා ප්‍රතික්ෂේප කළ බවද ඔහු සඳහන් කළේය.

පළමු ගල් අඟුරු නැවෙහි ගල් අඟුරු වල ජනන ශක්තිය අඩු බවත්, අළු ප්‍රතිශතය ඉහළ බවත් නොරොච්චෝලේ බලාගාරයට අනුබද්ධ රජයේ රසායනාගාරය වාර්තා කර තිබුණද, එය පිළිගැනීමට ආණ්ඩුව ඉදිරිපත් නොවූ බව ඔහු චෝදනා කළේය. එම සාම්පල සඳහා ඉන්දියාවේ සිදු කළ දෙවන පරීක්ෂණය මගින් ද එම කරුණු තහවුරු වූ බව ඔහු පැවසීය.

මේ අතර රජය විසින් ලංකාවේ රසායනාගාර වාර්තා නිකුත් කිරීම අත්හිටුවීමත් සමඟ මෙම ගනුදෙනුව තවත් සැක සහිත වූ බව පුබුදු ජයගොඩ මහතා කියා සිටියේය. කෙසේ වෙතත්, ගල් අඟුරු ප්‍රමිතිය සඟවා තැබිය නොහැකි බවත්, බලාගාරයෙන් ජනනය වන විදුලි ප්‍රමාණය සහ භාවිතා වන ගල් අඟුරු ප්‍රමාණය මත එය පැහැදිලිව හඳුනාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

ලංවිම විසින් ජනවාරි 21 දින නිකුත් කළ වාර්තාවට අනුව, සාමාන්‍යයෙන් මෙගාවොට් 810ක් ජනනය කළ හැකි ලක්විජය බලාගාරය තුන්වන නැවෙන් ගෙන්වූ ගල් අඟුරු භාවිතයෙන් ජනනය කර ඇත්තේ මෙගාවොට් 715ක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය. මෙය ගල් අඟුරු ප්‍රමිතිය බාල බවට පැහැදිලි සාක්ෂියක් බව විදුලි බල විශේෂඥයන් පෙන්වා දී ඇති බවද සඳහන් කළේය.

ටෙන්ඩර් ගිවිසුමට අනුව ගල් අඟුරු නැව් දෙකක තොග ප්‍රමිතියෙන් අසමත් වුවහොත් සම්පූර්ණ ඇණවුම අවලංගු කළ යුතු වුවද, එය සිදු නොවීම බරපතළ ප්‍රශ්නයක් බව ඔහු කියා සිටියේය.

මෙම ටෙන්ඩර් පටිපාටියද බරපතළ සැක මතු කරන එකක් බවත්, ටෙන්ඩර් කැඳවීම ප්‍රමාද කිරීම, පිරිවිතර වෙනස් කිරීම සහ වංචා චෝදනා ලත් සමාගමකට කොන්ත්‍රාත්තුව ලබාදීම පිළිබඳව ස්වාධීන විමර්ශනයක් අවශ්‍ය බවත් පුබුදු ජයගොඩ මහතා අවධාරණය කළේය.

මේ වංචාවලින් සිදුවන අලාභය විදුලි බිල හරහා ජනතාවට පටවන්න එපා යනුවෙන්ද, වගකිවයුත්තන්ගෙන් අලාභය අය කරගත යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply