ප්‍රතිකාර මගින් වළක්වාගත හැකි හෝ සුව කළ හැකි අක්ෂි රෝග හේතුවෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් අදටත් පීඩා විඳින බවත්, එම තත්ත්වය අවම කරමින් සැමට සාධාරණ අක්ෂි සත්කාරයක් සහතික කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කොළඹදී ඊයේ (25) පැවැති ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර අක්ෂි සත්කාර දෘෂ්ටිවේදී සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

“දේශසීමා ඉක්මවා යන දැක්ම – ගෝලීය අක්ෂි සත්කාරය ඉදිරියට ගෙන යාම” යන්න මෙහි තේමාව විය.

අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාවය, ඉගෙනීම සහ නායකත්වය සඳහා සුවිශේෂී වේදිකාවක් සපයන මෙම ජාත්‍යන්තර සමුළුව තුළ සායනික දෘෂ්ටිමිතිය, දෘෂ්ටි චිකිත්සාව, දෘෂ්ටිමිතික පර්යේෂණවල නව ප්‍රවණතා, ළමා සහ වයෝවෘද්ධ අක්ෂි සත්කාර, මහජන සෞඛ්‍ය හා ප්‍රජා අක්ෂි සේවා, අඩු දෘෂ්ටිය සහ පුනරුත්ථාපනය, නව තාක්ෂණය, අන්තර් විෂය අක්ෂි සත්කාර ආකෘති සහ වෘත්තීය අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරුණි.

“දියතරිපු” යන නාමය ශ්‍රී ලංකාවේ වසර 700කට අධික අභිමානවත් ඉතිහාසයක් නිරූපණය කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම සමුළුව හුදෙක් ශාස්ත්‍රීය රැස්වීමක් නොව, මානවයාගේ වටිනාම ඉන්ද්‍රියයක් වන පෙනීම ආරක්ෂා කිරීම සඳහා වන සාමූහික කැපවීමක් බව ද අවධාරණය කළේ ය.

දැනුවත්භාවය නොමැතිකම සහ ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සීමිත වීම හේතුවෙන් වළක්වාගත හැකි අන්ධභාවය සහ දෘශ්‍යාබාධිතභාවය අද ලොව පුරා ප්‍රධාන මහජන සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

එවැනි පසුබිමක, ප්‍රජාවන් පුළුල් වැළැක්වීමේ සහ පුනරුත්ථාපන දෘෂ්ටි සේවාවන් සමඟ සම්බන්ධ කරමින්, අක්ෂි සත්කාර පද්ධතියේ පළමු සම්බන්ධතා ස්ථානය ලෙස දෘෂ්ටිවේදීන්ට ඉතා වැදගත් භූමිකාවක් පැවරෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

රජයක් ලෙස අක්ෂි සෞඛ්‍යය විශ්වීය සෞඛ්‍ය ආවරණයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකන බවත්, පාසල් දෘෂ්ටි පරීක්ෂණ වැඩසටහන්, වැඩිහිටි අක්ෂි සත්කාර සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් තුළ දෘෂ්ටිමිතික සේවාවන් ඒකාබද්ධ කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇති බවත් ඔහු පැවසීය.

ඒ අනුව ජාතික අක්ෂි සත්කාර වැඩසටහන පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය උපකරණ, ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය සැපයීම, මානව සහ යටිතල පහසුකම් වෙන් කිරීම, අක්ෂි වෛද්‍යවරුන්, හෙදියන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය පුහුණු කිරීම හා යෙදවීම සඳහා රජය දැඩි අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Share.
Leave A Reply