ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට නව පියවර: ජාතික මෙහෙයුම් කමිටුව රැස්වෙයි
කොළඹ, ජනවාරි 23: ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ (NSCECL) මෙම වසරේ (2026) ප්‍රථම රැස්වීම අද දින සාර්ථකව පවත්වන ලදී.
නාරාහේන්පිට පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මෙම හමුවේ මුලසුන හෙබවූයේ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා විසිනි. මේ සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) මෙරට නියෝජිත ජෝනි සිම්ප්සන් (Joni Simpson) මිය සහ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පසුගිය වසරේ ප්‍රගතිය සහ වත්මන් තත්ත්වය
මෙහිදී අදහස් දැක්වූ කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් එන්.එම්.වයි. තුෂාරි මහත්මිය, ළමා ශ්‍රමය තුරන් කිරීම වෙනුවෙන් පසුගිය වසරේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය සභාවට ඉදිරිපත් කළාය.
එමෙන්ම, කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.එම්.කේ. නවරත්න මහතා විසින් මෙරට ළමා ශ්‍රමය පිළිබඳ වත්මන් දත්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී. එහිදී අනාවරණය වූයේ කලාපයේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව ළමා ශ්‍රමය අවම මට්ටමක පවත්වාගෙන යන රටක් ලෙස ඉදිරියෙන් සිටින බවයි.
ඉදිරි ඉලක්ක සහ යෝජනා
රට තුළ ඉතිරිව ඇති ළමා ශ්‍රම අවස්ථා ද සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. රැස්වීමට සහභාගී වූ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සේව්‍ය-සේවක දෙපාර්ශවයේ නියෝජිතයන් විසින් ඒ සඳහා වන නව යෝජනා හා අදහස් ඉදිරිපත් කරන ලදී.
ළමා ශ්‍රමය තුරන් කිරීම යනු හුදෙක් නීතිමය ක්‍රියාවලියක් පමණක් නොව, එය සමාජීය වගකීමක් බවත්, ඒ සඳහා සියලුම ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී අවධාරණය කෙරිණි.
————————————————–
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics)
ඕනෑම අයකුට 2026 පෙබරවාරි මස 15 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

