2025 වසරේ ජගත් පරිසර දිනයට සමගාමීව වනස්පති ජාතික වැඩසටහන යටතේ හෙක්ටයාර 40,684.99 ක විශාලත්වයක් සහිත ලංකාවේ දෙවැනි විශාලතම වනාන්තරය වන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට පත් කිරීමට කටයුතු කළ අතර එම රක්ෂිතයක් බවට පත් කිරීමේ ගැසට්පත්‍රය ද දින නිකුත් වී ඇත.

මේ සටහන හරිත පැහැයෙන් රසවිත වූ වන කොමලියගේ සුන්දරත්වය පළිබඳවයි.

හැදින්වීම

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ජෛව විවිධත්වයෙන් අතිශය සම්පන්න දූපත් රාජ්‍යයක් ලෙස ලෝක ප්‍රසිද්ධ ය. එහි පවතින විවිධ වනාන්තර පද්ධති අතරින්, විද්‍යාත්මකව සහ සංස්කෘතිකව විශේෂ ස්ථානයක් ගන්නා වනාන්තරයක් ලෙස නිල්ගල වනාන්තරය හඳුනාගත හැක.

මෙම වනාන්තරය නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය සහ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කය අතර පැතිර ඇති අතර, වියළි සහ තෙත් කලාප අතර පිහිටි අන්තර් කලාපීය සවානා වනාන්තරයක් ලෙස විද්‍යාත්මක වශයෙන් වැදගත් වේ.

භූගෝලීය පිහිටීම සහ පරිපාලන ව්‍යුහය

නිල්ගල වනාන්තරය බිබිල, මැදගම, නිල්ගල සහ ඉඟිනියාගල යන වන සංරක්ෂණ බීට්ටු හතරකින් සමන්විත වේ.

මෙම වනය මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් (Man and Biosphere Reserve) ලෙස නම් කර තිබීම, එහි ජෛව විවිධත්වය සහ මානව ජීවන රටා අතර පවතින සම්බන්ධතාවය පෙන්වයි.

නැඟෙනහිර කොටස – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (හෙක්ටයාර ~9000)

අනෙක් කොටස – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (හෙක්ටයාර ~13000)

මෙම වනය මඩුල්ල, මැදගම, බිබිල, ඉඟිනියාගල සහ අම්පාර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට අයත් වේ.

දේශගුණික ලක්ෂණ සහ වනාන්තර වර්ගය

නිල්ගල වනාන්තරය මුහුදු මට්ටමේ සිට මීටර් 100 – 800 අතර උස පරාසයක පැතිර ඇත.

මෙය ඊසානදිග මෝසම් සුළඟින් වර්ෂාව ලබන අතර, වියළි කාලයේදී සවානා තෘණ භූමිය වියළී යාම විශේෂ ලක්ෂණයකි.

සවානා වනාන්තරයක ලක්ෂණ ලෙස,

තෘණ භූමි අතර විසිරුණු උස ගස්

තැනින් තැන ගිනි තැබීම්

තණ බිම් මත මීටර් 12–15 දක්වා උස ගස්

යන කරුණු පැහැදිලිව දක්නට ලැබේ.

ශාක විවිධත්වය සහ ඖෂධීය වටිනාකම

නිල්ගල වනාන්තරය ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාකවලින් අතිශය සම්පන්න වනාන්තරයක් ලෙස සැලකේ.

අරළු, බුළු, නෙල්ලි, ගම්මාලු වැනි ප්‍රධාන ඔසු ශාක මෙහි බහුලව හමුවේ.

ඊට අමතරව,

බිංකොහොඹ, විෂ්ණුක්‍රාන්ති, අග්නිජාලය

තිත්තවැල්, හීන්දද, විෂහරණ

කහට, සියඹලා, කුඹුක්, හල්මිල්ල

වැනි ශාක ජාතීන් වනයේ යටි රෝපණය සහ උඩුස්තරය සම්පූර්ණ කරයි.

ආවේණික හා දුලභ සත්ත්ව විශේෂ

නිල්ගල වනය ලෝකයටම සීමිත සත්ත්ව විශේෂ කිහිපයක්ගේ එකම වාසභූමියයි.

Baronnet Symphaedra nais – ලෝකයටම සීමිත සමනල විශේෂයක්

Ophisops leschenaultii lankae, Ophisops minor minor – ආවේණික පඳුරු කටුස්සන්

Nannophrys naeyakei – නිල්ගලට පමණක් ආවේණික ගල්පර මැඬි විශේෂයක්

IUCN රතු දත්ත වාර්තාවට අනුව දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති,

පඳුරු වටුවා

පතන් කුකුළා

කහ පාද බටගොයා

යන පක්ෂීන්ගේ එකම වාසභූමිය වන්නේ ද නිල්ගල වනාන්තරයයි.

වනජීවී සංචරණය සහ අලිමංකඩ

ගල්ඔය ජාතික උද්‍යානයේ අලිඇතුන් ගමන් කරන ප්‍රධාන අලිමංකඩක් නිල්ගල වනය හරහා පිහිටා ඇත.

තෘණ වර්ග බහුල වීම නිසා අලිඇතුන්ට මෙය ප්‍රධාන ආහාර භූමියක් වේ.

එමෙන්ම,වලහා, හඳුන් දිවියා, කොටියා, වල්ඌරා, ගෝනා, තිත්මුවා, කබල්ලෑවා වැනි සත්ත්ව විශේෂ මෙහි වාසය කරයි.

ජල සම්පත් සහ භූ දර්ශනය

නිල්ගල වනය හරහා ගලා යන ගල්ඔය, දහමල් ඔය, තම්මැඩිල්ල ඔය, දික්ඔය සහ බඹර කඳුර වනයේ ජෛව පද්ධතියට ජීවය ලබා දේ.

කඳු ගැට, හෙල, ලෙන් සහ පොකුණු නිසා වනයට සුවිශේෂී භූ දර්ශනික අලංකාරයක් ඇත.

සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම

නිල්ගල වනය වැදි ජනතාවගේ පුරාණ නිජබිමක් වන අතර, දුටුගැමුණු රජුගේ යුද ගමන් මාර්ගය මෙහි තිබූ බව ජනප්‍රවාද සඳහන් කරයි.

1908 දී ගංගොඩදෙණිය ගල්ලෙනෙන් හමු වූ ප්‍රාග් ඓතිහාසික මානව සාධක, මෙහි පුරාවිද්‍යාත්මක වටිනාකම තහවුරු කරයි.

9. වත්මන් තර්ජන සහ සංරක්ෂණ උත්සාහ

නීතිවිරෝධී ගස් කැපීම්, අනවසර වගා, ගිනි තැබීම් නිල්ගල වනයට දැඩි තර්ජනයක් වී ඇත.

2014 වසරේදී ගම්වැසියන්, පරිසරවේදීන් සහ භික්ෂූන් වහන්සේලා එක්ව ගස් පැවිදි කිරීමේ පරිසර ආරක්ෂණ ක්‍රියාවක් සිදු කිරීම ශ්‍රී ලංකා පරිසර ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වේ.

නිගමනය

නිල්ගල වනාන්තරය යනු ජෛව විවිධත්වය, ආවේණිකත්වය, සංස්කෘතික උරුමය සහ පුරාවිද්‍යාත්මක සාධක එකට එක්වූ ජාතික වස්තුවක් වේ.

එබැවින් විද්‍යාත්මක පර්යේෂණ, නීතිමය ආරක්ෂාව සහ ප්‍රජා සහභාගීත්වය මත පදනම් වූ සංරක්ෂණ ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය ය.

මාධ්‍යවේදී  සිහින සංකල්ප විශ්වජිත් ගෙනි.

Share.
Leave A Reply