හිඟන්නෝ

      අපේ නගරවලින් හිඟන්නන් තුරන් කිරීමට ක්‍රමයක් රජය විසින් යොදා ගෙන යන බැව් සැලයි. වීථිවල ගමන් කරන්නවුන්ට මෙයින් එක්තරා විධියක සැනසිල්ලක් ලැබෙනවා ඇත. එහෙත් එපමණකින් තෘප්තියට පත්වීමට ඉඩක් තිබේ ද?

      ගසක විෂ ගෙඩි සෑදේ නම් සෑදෙන සැදෙන ගෙඩිය කඩා දැමීම ද එම ගෙඩිවලින් කරදරයට පත්විය හැකි අයට කරන එක සේවයකි. නමුත් කළ යුත්තේ ගස කපාදැමීම නොවේ ද? හිඟන්නන් ඇති වීම දිළිඳු කම නමැති ගසේ ගෙඩිය නොවේ ද? වැඩ කළ හැකි හිඟන්නන්ට වැඩ දීමත් වැඩ කළ නොහැකි හිගන්නන් සඳහා අනාථ නිවාස ඇති කිරීමත් විස ගසේ ගෙඩි කඩා දැමීම වැනි ක්‍රියාවකි. ගස පවතින තුරු ගෙඩි සෑදීම වැළැක්විය නොහැකි ය. එහෙයින් කළ යුත්තේ රට වැසියන් තුළ දිළිඳුකම හටගැනීමට ඇති හේතු සොයා බලා ඒවා දුරුකිරීම ය. මෙය පහසු කාර්යයක් යයි මොහොතකටවත් අපි නො කියමු. එහෙත් කොතරම් බැරෑරුම් වුව ද මෙම ප්‍රශ්නය විසඳෙන තුරු කරන තාවකාලික ප්‍රතිකර්ම වලින් වැඩක් සිදු නොවන හෙයින් මූලික ප්‍රශ්නය දෙස වැසියන්ගේ ද රජයේ ද කල්පනාව යොමු විය යුතුව පවතී.

      රටක ටික දෙනෙකු අධික ලෙස පොහොසත් වීමටත් තවත් පක්ෂයක් හිඟමනට පත්වීමට තරම් අධික ලෙස දුප්පත් වීමටත් හේතු රැසක් ඇති වන්ට පුලුවන.

      එක පක්ෂයක් පොහොසත් වීම ම තවත් පක්ෂයක් දුප්පත් වීමට හේතුවක් යයි සිතමි. දසදෙනෙකු අතර අඹගෙඩි විස්සක් බෙදීමේ දී එයින් තුන්දෙනෙකු අඹගෙඩි පහ ගණනේ උදුරා ගත හොත් අනික් සත් දෙනාටම ඉතිරි වන්නේ ගෙඩි පහකි. ඊට පසු එක්කෙනාට එක ගෙඩිය ගණනේ දුන්නත් දෙදෙනෙකුට කිසිවක් නොලැබෙනවා ඇත. මෙය බාලාංශයේ ළමයෙකුට පවා තේරුම් ගත හැකි ගණිත ප්‍රශ්නයකි. රටක පොහොසතුන් සහ හිඟන්නන් ඇති කරවන ආර්ථික ප්‍රශ්නය ද මූලික වශයෙන් මෙම අඹගෙඩි ප්‍රශ්නයම වේ. එහෙත් මෙය තේරුම් ගැනීමට උගතුන්ට පවා නොහැකි වීම අපේ අභාගයයකි.

      අධික පොහොසත්කම සහ අධික දුප්පත්කම තහවුරු වීමට ආගමික දෘෂ්ටි ද තවත් හේතුවක් යයි සිතමි. මැවුම් කාරයෙකු විශ්වාස කරන අය පොහොසතුන් ද හිඟන්නන් ද මවන ලද්දේ සියල්ල දත් මැවුම් කාරයාණන් විසින් ය. එහෙයින් අපට නොතේරෙන විශේෂ කාරණයක් මෙහි තිබිය යුතු  යයි කල්පනා කරති. මෙසේ කල්පනා කිරීමෙන් පොහොසතා ද සැනසෙයි. හිඟන්නාද සැනසෙයි. පූර්ව ජාතියත් පූර්ව ජාතියේ දී කරන ලද කර්මයත් විශ්වාස කරන අය කෙනෙකුන් දුප්පත් වීමට සහ පොහොසත් වීමට ඇති හේතුව කර්මය කෙරෙහි ආරෝපනය කරති. එම විශ්වාසය උඩ රැඳි පොහොසතා තමාගේ කෲරකම් තමාගෙන්ම වසා ගනියි, දුප්පතා 'පූරුවෙ කරුමෙ' ගැන සිතා දුක යටපත් කර ගනියි. මැවුම්කාරයෙකු ගැන පවත්නා විශ්වාසය ද, පූර්ව ජාතියේ කර්මය ගැන පවත්නා විශ්වාසය ද යන දෙක ම සමාජයේ පවත්නා විසමතා ගැන සමාජයේ ඇස් යොමු වන්ට ඉඩ නොදී වළක්වයි.

      ටික දෙනෙකුගේ කෛරාටික කමත් බොහෝ දෙනෙකුගේ අනුවණකම සහ අලසකමත් දුප්පත් පොහොසත් භේදය ඇතිකරවීම ට තවත් හේතුවකි.

      දුප්පත්කම නිසා කෙනෙකුගේ ශරීරයට ඇති වන මන්දපෝෂණය ඔහුගේ අලසකම වැඩි කරවන හෙයින් එය ද ඔහුගේ දුප්පත්කම තව දුරටත් වැඩි කරවයි.

      මේ ආදී වශයෙන් බලන විට රටක හිඟන්නන් ඇතිවීමට තිබෙන හේතු බොහෝ ගණනකි. ඇතැම් දේශපාලන පක්ෂ මෙයින් එක හේතුවක් පමණක් දුරු කිරීමට උත්සාහ කරති. ආගමික පක්ෂ තවත් හේතුවක් පමණක් ගැන සිත යොමු කරති. මෙම හේතු සියල්ල සොයා බලා ඒවා නැති කර දමන තුරු හිඟන්නන්ගේ ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙයින් එක හේතුවක් දෙකක් ගැන පමණක් නොව හේතු සියල්ල ගැනම රටක වගකීම භාර අය කල්පනා කරනවා ඇත යනු අපගේ බලාපොරොත්තුව වේ.

DZ💎 ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්

Share.
Leave A Reply