මලහෛ තමිල් හෙවත් වතු කම්කරු ජනතාවට අදටත් මූලික ජීවන අයිතිවාසිකම් නොලැබී ඇති බව
මලහෛ තමිල් ජනතාවනි අත් නොහැර සටන් වදිමු යන තේමාව යටතේ මලහෛ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා පෙබරවාරි 4 දා හැටන් නගරයේදී පැවැත්වීමට නියමිත ජනතා සමුලුව පිළිබඳ ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (21) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
මෙම මාධ්‍ය හමුව සම අයිතිය ව්‍යාපාරය සහ සමාජ සාධාරණත්වය උදෙසා ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ අතර, වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන ගණනාවක නියෝජිතයන් එයට සහභාගී වූහ.
ළහිරු වීරසේකර මහතා මෙසේද කීය.
අවුරුදු 200කට ආසන්න කාලයක් පුරා මෙරට ආර්ථිකය ගොඩනැගීමට දායක වූ මෙම ජනතාවට, තමන්ට අයිති ඉඩමක් හෝ නිවසක් නොමැති බවත්, ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන බවත්, දරුවන්ට සුදුසු පාසල් පහසුකම් සහ ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පහසුකම් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව විසින් ඉටු කර ඇතැයි පවසන පොරොන්දු සම්බන්ධයෙන් අදහස් දක්වමින්, රුපියල් 5,000 සහ 10,000 වැනි සහනාධාර බෙදාහැරීම් සිදු කර ඇති නමුත්, වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටින වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ දැමීම තවමත් සම්පූර්ණයෙන් ඉටු කර නොමැති බව ද ඔහු පැවසීය.
එම වැටුපෙන්ද රුපියල් 200ක් පැමිණීමේ දීමනාවක් ලෙස ගෙවෙන බවත්, වතු කම්කරුවන්ගේ මූලික ඉල්ලීම වූ දෛනික අවම වැටුප රුපියල් 2,000ක් කිරීම තවමත් ඉටු නොවී ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.
වතු කම්කරුවන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ නියෝජිතයන් පිළිබඳව අදහස් දක්වමින්, ඔවුන් තමන් පත්වූ අරමුණ අමතක කර ජනතාව නොමග යවන ප්‍රකාශ සිදු කරන බවටද ළහිරු වීරසේකර මහතා චෝදනා කළේය. වතු කම්කරුවන්ට මාසික වැටුපක් නොලැබෙන බව පවා නොසලකා හරිමින් බොරු ප්‍රකාශ සිදු කරන බව ඔහු පැවසීය.
එමෙන්ම, විපක්ෂය ද ඡන්ද ලබා ගැනීම සඳහා පමණක් වතු කම්කරුවන්ගේ බලාපොරොත්තු භාවිත කළ බවත්, ආණ්ඩු හා විපක්ෂ දෙපාර්ශවයම පෙබරවාරි 4 දා නිදහස සැමරුවද, වතු කම්කරුවන්ට අදටත් සැබෑ නිදහස නොලැබී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
පසුගිය ආපදා තත්ත්වයන්වලදී වැඩිම හානි සිදුවී ඇත්තේ වතු කම්කරුවන් ජීවත්වන ලැයින් නිවාසවලට බවත්, නීත්‍යානුකූල ඔප්පු නොමැති වීම හේතුවෙන් ආණ්ඩුවෙන් ලබාදෙන සහන පවා ඔවුන්ට නොලැබෙන තත්ත්වයක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
එබැවින් මලහෛ තමිල් ජනතාවගේ නිදහස කොතැනද?” යන ප්රශ්නය මූලික කරගනිමින් පෙබරවාරි 4 දා හැටන් නගරයට පැමිණ ජනතා සමුලුවට එක්වන ලෙස සියලු ජනතාවට ඔහු ආරාධනා කළේ ය.
එහිදී අදහස් දැක්වූ සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා.
පෙබරවාරි 4 වෙනිදා හැටන්වලදි මලහෛ තමිල් ජනතාවගේ සමුළුව පැවැත්වෙනවා. අපි දන්නවා මලහෛ තමිල් ජනතාව වසර 200ක් පුරා වහල් ජීවිතයක් තමයි ලංකාව ඇතුළේ ගතකලේ.
තොණ්ඩමන්ලගේ ඉඳන් සියලු දේශපාලකයන් ඔවුන්ව පාවිච්චි කළා. වර්තාමන ආණ්ඩුව පවා බලයට ආවේ වතුකරයේ ජනතාවට පොරොන්දු රැසක් ලබා දෙමින්. ඒ පොරොන්දු එක්ක තමයි අම්බිගා වගේ කාන්තාවන්ට පාර්ලිමේන්තු එන්න පුලුවන් කම ලැබුණේ.
නමුත් අදටත් ඔවුන්ගේ ඒ ඉල්ලීම් ඉටු කරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. වතු කම්කරුවන් විදිහට ඔවුන් ලංකාවට ඇවිත් දැන් අවුරුදු 200කට වැඩියි. නමුත් අදටත් ඒ ජනතාවට ඉඩමක් නිවසක් නැහැ.
ජීවත් වෙන්න ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ පුරවැසියෙක් විදිහට ලැබිය යුතු අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු මූලික අයිතීන් කිසිවක් ඔව්න්ට ලැබෙන්නේ නැහැ. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්.
අපි දන්නවා මේ මලහෛ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් එදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සඨන් බිමට ආවා. ඒ සටන්වල ප්‍රතිඵලයක් විදිහට යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් දිනාගන්න පුලුවන් වුණා. හැබැයි අදටත් මලහෛ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් ඔවුන්ට ලැබිලා නැහැ.
ඡන්දෙට කලින් වතු ප්‍රදේශවලට ඇවිත් අනුර දිසානායක ජනාධිපතිවරයා පොරොන්දු වුණේ සියලු වතු කම්කරුවන්ට ජීවත් වෙන්න ඉඩමක් නිවසක් ලබා දෙනවා කියලා. හැබැයි කයිවාරු ගැහුවට මාලිමා ආණ්ඩුව කිසිවක් කරලා නෑ. අපි සම අයිතිය ව්‍යාපාරය විදිහට මලහෛ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන්න කියලා මේ ආණ්ඩුවට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළා. හැබැයි ඒ එකකටවත් ආණ්ඩුවෙන් උත්තරයක් ලැබුණේ නෑ. පසුගිය දවසක දෙමළ පුද්ගලයෙක් තමන්ගේ ප්‍රශ්නයක් කියන්න රජයේ ආයතනයකට කතා කළාම ඔවුන් අහල තියෙන්නේ ඉංග්‍රීසි දන්නේ නැද්ද කියලා.
අඩුමතරමින් දෙමළ ජනතාවට තමන්ගේ භාෂාවෙන් ප්‍රශ්නයක් විසඳගන්න තියන අයිතියවත් තවම ලැබිලා නැහැ. පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පවා වැඩිම විනාශයක් සිදු වුණේ මලහෛ තමිල් ජනතාවට. ඔවුන් ඉන්න ලයිම් නිවාස විශාල ප්‍රමාණයක් නාය ගියා. රැකියා අහිමි වුණා.
මෙහෙම තත්වයක් එක්ක තමයි මලහෛ තමිල් ජනතාවගේ සමුළුව පවත්වන්න අපි සූදානම් වෙන්නේ. මලහෛ තමිල් ජනතාවගේ ඉඩම් අයිතිය නිවාස අයිතිය සහ ඔව්න්ට ප්‍රමාණවත් මාසික වැටුපක් ලැබෙන්න ඕන. ඒ වගේම තමයි ඔවුන් ලංකාවේ පුරවැසියන් විදිහට සහ ජාතියක් විදිහට පිළිගන්න ඕන. අන්න ඒ ඉල්ලීම් එක්ක තමයි මේ සමුළුව පැවත්වන්න අපි කටයුතු කරන්නේ.
අපි දන්නවා 1972 පනතට අනුව වතු කම්කරුවන්ට නිවසක් තනා ගන්න ඉඩමෙන් 1/8ක ප්‍රමාණයක් දිය යුතුයි. නමුත් ඒ අයිතිය අදටත් ලැබිලා නැහැ. අදටත් මලහෛ තමිල් ජනතාව ඉන්නේ වතු හාමුපුත්තුන්ගේ ග්‍රහණයේ. ඔවුන් මේ ජනතාව සූරාකමින් විශාල ලාභයක් උපයනවා. ආණ්ඩුව පවා අද මේ වතු හාමුපුත්තුන්ගේ පදයට නටන අතකොලු බවට පත් වෙලා.
නමුත් අපි සූදානම් නැහැ පරාජය බාර ගන්න. මලහෛ තමිල් ජනතාවගේ ඉඩම් නිවාස ඇතුළු මූලික අයිතිවාසිකම් දිනාගන්නකල් සඨන් කරන්න අපි සූදානම්. ඒ සටනත් එක්ක එකතුවෙන්න කියලා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා.

