ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ සෘජු අධීක්ෂණයට

 

කොළඹ, ජනවාරි 19: ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමේ අරමුණින් 2026 වසර සඳහා සැලසුම් කර ඇති නව ව්‍යාපෘති සහ වත්මන් ප්‍රගතිය පිළිබඳ විශේෂ සමාලෝචන රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, 2025 වසරේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවල සාර්ථකත්වය මෙන්ම 2026 අයවැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙළවල් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු විමසා බලන ලදී.

මුදල් නෝට්ටු රහිත (Cashless) ආර්ථිකයක් කරා

මෙහිදී රජයේ විශේෂ අවධානය යොමු වූයේ මෙරට තුළ මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු (Cashless Economy) ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ය. ඒ යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳවම ප්‍රගතිය විමසා බැලූ අතර ඒවා අතර පහත ව්‍යාපෘති ප්‍රමුඛ වේ:

 

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය: සමස්ත රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම.

 

QR ගනුදෙනු ප්‍රවර්ධනය: එදිනෙදා ගනුදෙනු සඳහා ඩිජිටල් ක්‍රමවේද හඳුන්වා දීම.

 

Cloud යටිතල පහසුකම්: ජාතික මට්ටමේ ක්ලවුඩ් (Cloud) මධ්‍යස්ථානයක් පිහිටුවීම.

 

අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් (Broadband): දිවයින පුරා අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහන.

 

ඩිජිටල් හැඳුනුම්පත (Digital ID): පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ ඩිජිටල් ව්‍යාපෘතිය.

 

Traffic Spot Fine: රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල්කරණය කිරීම.

 

Single Window Facility: ව්‍යාපාරික සහ පරිපාලන කටයුතු සඳහා ‘තනි කවුළු’ පහසුකම.

ග්‍රාමීය ආර්ථිකය විධිමත් කිරීමේ අවශ්‍යතාවය

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික කටයුතු බොහොමයක් තවමත් පවතින්නේ අවිධිමත් මට්ටමක බවයි. එම කටයුතු විධිමත්ව ලේඛනගත කිරීම ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී අත්‍යවශ්‍ය වන බව ඔහු අවධාරණය කළේය.

ආයතනික ක්‍රියාකාරිත්වය සහ GovTech

අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන ආයතනවල වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය:

 

ශ්‍රී ලංකා සර්ට් (CERT), දත්ත ආරක්ෂණ අධිකාරිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) ඉදිරි සැලසුම් විමසා බැලීම.

රාජ්‍ය ඩිජිටල්කරණය සඳහා පිහිටවූ GovTech ආයතනයේ වත්මන් තත්ත්වය සහ නව බඳවා ගැනීම් පිළිබඳ සාකච්ඡා කිරීම.

සහභාගීත්වය

මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, අමාත්‍යාංශ ලේකම් වරුණ ධනපාල යන මහත්වරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීහු සහ ආයතන ප්‍රධානීහු එක්ව සිටියහ.

————————————————–
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! 

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන 
(Certificate in Introductory Media Communication Ethics) 
https://newsandimage.org/media-studie..

ඕනෑම අයකුට 2026 ජනවාරි මස 31 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක 

News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.

 


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply