(01) ගිනිගත්හේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් දූෂණයට ලක් කළ බවට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් අවස්ථා කිහිපයකදී දූෂණයට ලක් කළ බවට සැකපිට තරුණයින් දෙදෙනෙකු සහ එයට අනුබල දුන් බවට සැකකරුවෙකු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, සිසුවිය ගෝණවල ප්‍රදේශයේ තරුණයෙකු සමග පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඔහුගේ මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස් එහිදී දූෂණයට ලක්කර ඇති බවය.
මිත්තනිය භාරයේ සිටින සිසුවිය 17 වැනි දින උදෑසන නිවසින් පිටව ගොස් රාත්‍රියේ ආපසු පැමිණීම සම්බන්ධයෙන් සැක සිතූ මිත්තනිය විසින් ගිනිගත්හේන පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයේදී මෙම කරුණු අනාවරණය වී ඇත.
සියලු සැකකරුවන් අවුරුදු 16–17 වයස් කාණ්ඩයේ පසුවන අය වන අතර, සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට යොමු කර ඇත. සැකකරුවන් අද (19) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(02) රජයට රු. දෙකෝටි පනස් ලක්ෂයක බදු මුදල් නොගෙවූ බීඩි සමාගම් දෙකක් වැටලේ
රජයට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක බදු මුදල් නොගෙවා කටයුතු කළ මාවනැල්ල, මහවත්ත ප්‍රදේශයේ ලියාපදිංචි බීඩි සමාගම් දෙකක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය 16 වැනි දින වැටලීමට ලක් කර ඇත.
එහිදී බදු නොගෙවා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ නිමි බීඩි ලක්ෂ 70ක් සහ බදු නොගෙවා ආනයනය කළ තෙන්දු කොළ කිලෝග්‍රෑම් 400ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සුරාබදු දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ සැකකරුවන් ඉදිරි දිනයකදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර නීතිමය පියවර ගැනීමට නියමිත බව සඳහන් වේ.
(03) පොලිස් ලෙස සටහන් කළ කාර් රථයක් කතරගමදී අත්අඩංගුවට
“Police” යනුවෙන් ඉංග්‍රීසි බසින් සටහන් කළ නිල් පැහැති ස්ටිකරයක් ඇලවූ සුදු පැහැති කාර් රථයක් ඊයේ (19) අළුයම 1.45ට පමණ කතරගම නගරයේදී කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කාර් රථය තුළ අවුරුදු 28 සහ 30 වයස්වල තරුණයින් දෙදෙනෙකු සිට ඇති අතර, ඔවුන් ටෙලි නාට්‍ය රූගත කිරීමක් සඳහා එම ස්ටිකරය භාවිත කළ බවට පොලිසියට ප්‍රකාශ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(04) ව්‍යාජ “Victoria’s Secret” සුවඳ විලවුන් අලෙවියට ලක්ෂ හයක දඩයක්
ලෝප්‍රකට “Victoria’s Secret” වෙළඳ නාමය අනුකරණය කර නිෂ්පාදනය කළ ව්‍යාජ සුවඳ විලවුන් සන්තකයේ තබාගෙන අලෙවි කළ බවට චෝදනා ලැබූ පිටකොටුව ව්‍යාපාරිකයින් තිදෙනෙකුට රුපියල් ලක්ෂ හයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියම කළේය.
චෝදනා පිළිගත් විත්තිකරුවන් විසින් අධිකරණයේ කාලය නාස්ති නොකිරීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ නියම කරමින් අත්අඩංගුවට ගත් ව්‍යාජ භාණ්ඩ විනාශ කිරීමටද නියෝග කළේය.
(05) ගම්පහ ප්‍රදේශ කිහිපයක විශේෂ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සහ ගෝඩා බැරල් 23ක් අත්අඩංගුවට
ගම්පහ මූලස්ථාන පොලිසිය විසින් මාකෙවිට, අකරවිට සහ කෙහෙල්බද්දර ප්‍රදේශවල සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී ගෝඩා බැරල් 23ක්, නීති විරෝධී මත්පැන්, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකර ඇති බව පොලිසිය පවසයි.
(06) පුරාවස්තු සෙවීමේ නීතිවිරෝධී කැණීම් – සැකකරුවන්ට රු. ලක්ෂ දෙකක දඩ
මොරවක මහේස්ත්‍රාත් අධිකරණය විසින් පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කළ සැකකරුවන් හතරදෙනෙකුට එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කර ඇත.
සැකකරුවන් වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩ නියම කර ඇති අතර, අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර ඇත.
(07) වරෙන්තු තුනක් ඇති පුද්ගලයෙකු කසිප්පු බෝතලයක් සමග අත්අඩංගුවට
උහන ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ කසිප්පු බෝතලයක් තිබී හමුවී ඇත.
වැඩිදුර පරීක්ෂණවලදී ඔහු උසාවි වරෙන්තු තුනකට අවශ්‍ය පුද්ගලයෙකු බවත්, නාවික හමුදා සේවයෙන් පලා ගිය සෙබලෙකු බවත් අනාවරණය වී ඇත. ඔහු බාහු විවාහයක් සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

