කාන්තාවක් බලහත්කාරයෙන් නිරුවත් කර එම දර්ශන වීඩියෝගත කර සමාජ මාධ්‍ය හරහා සංසරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකු පිළිබඳව නිසි පරිදි පරික්ෂණ සිදු කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස්පතිවරයා සඳහන් කළේ,

මෙතෙක් ගෙන ඇති සියලු පියවර සම්බන්ධයෙන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත්, රටේ කිසිදු වැරැද්දකට හෝ වැරදිකරුවෙකුට තමා හෝ පොලිස් දෙපාර්තමේන්තුව සහයෝගය හෝ රැකවරණය ලබා නොදෙන බවත්ය.

මෙම සිද්ධිය යටපත් කිරීමට හෝ මඟහැරීමට කිසිදු උත්සාහයක් නොකරන බවත්, නීතියේ අකුරටම පියවර ගන්නා බවත් පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.

වැරදි ක්‍රියාවක් සිදුකර තිබේ නම් තරාතිරම නොසලකා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් මේ වනවිටත් විශේෂ පරික්ෂණ සිදුකරමින් පවතින බවත්, සැකකරු මේ වනවිට සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු වහා අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස්පතිවරයා පැවසී ය.

සැකකරුට කිසිදු පොලිස් නිලධාරියෙකු සහයෝගය ලබාදෙන්නේ නැති බවත්, එවැනි තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසත්, එසේ සිදු කරන නිලධාරීන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, කාන්තාවක් බලහත්කාරයෙන් නිරුවත් කරන අයුරු පෙන්වන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර, එම සිද්ධියට Prestige Rubbers (Pvt) Ltd ආයතනයේ සභාපතිවරයෙකු බවට සඳහන් Shazni Kamardeen නම් පුද්ගලයා සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ලැබී ඇති තොරතුරු අනුව, එම කාන්තාව බලහත්කාරයෙන් නිරුවත් කරමින් දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර, එම වීඩියෝව තම ආයතනයේ සේවය කරන කාන්තාවන් කිහිපදෙනෙකුට වට් සැප් (WhatsApp) සමාජ යෙදුම හරහා බෙදාහැර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.

එමෙන්ම,මෙවැනි ආකාරයෙන් තවත් කාන්තාවන් කිහිපදෙනෙකුගේ දර්ශන ද වීඩියෝගත කර තමා සතුව තබාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලිසිය කියයි.

අදාළ සැකකරු මත්පැන් පානය කළ අවස්ථාවක දී තම පියා දේපල අත්පත් කරගැනීම සඳහා ඝාතනය කළ බවත්, අනෙක් අයවද ඝාතනය කිරීමට සැලකිල්ලක් නැති බවත් පවසමින් තර්ජනය කර ඇති බවට ද තොරතුරු ලැබී ඇත.

සැකකරුගේ පියා වන MTM Kamardeen මහතා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු 2016 වසරේ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙහි සඳහන් සියලු කරුණු සම්බන්ධයෙන් මේ වනවිට නිල පරික්ෂණ ආරම්භ කර ඇති අතර, මෙය බරපතළ මනුෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනයක් සහ අපරාධමය චෝදනා ඇතුළත් සිද්ධියක් බැවින්, ඉක්මන් හා ස්වාධීන පරික්ෂණයක් සිදුකර සත්‍යය ජනතාවට හෙළි කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කරයි.

මෙම වාර්තාව දැනට ලැබී ඇති තොරතුරු සහ චෝදනා මත පදනම්ව සකස් කර ඇති අතර, අදාළ පුද්ගලයා නීතිය ඉදිරියේ වරදකරු බව තීරණය වන්නේ අධිකරණ ක්‍රියාවලියෙන් පසුව බව ද මෙහිදී අවධාරණය කරනු ලැබේ.

Share.
Leave A Reply