අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්ව රෝහල්ගත කෙරේ
හිටපු කථානායක අශෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බියගම පොලිසිය පවසයි.
මෙම අනතුර 16 වැනිදා රාත්‍රියේ කැලණිය–බියගම මාර්ගයේ, අශෝක රන්වල මහතාගේ නිවස ආසන්නයේදී සිදුව ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරයාගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී, කැලණිය දෙසින් පැමිණි තවත් මෝටර් රථයක් එම වාහනයට ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී ආරක්ෂක රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින් බියගම පොලිසියට දැනුම් දී ඇත.
අනතුර සිදු කළ අනෙක් මෝටර් රථයේ රියදුරා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
අනතුරෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයාගේ බිරිඳ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බියගම පොලිසිය විසින් සිදු කරනු ලබයි.

