(01)
දැරණියගල 14 හැවිරිදි දරුවාගේ මරණය ගැන සැක මතුවෙයි – දේහය යළි ගොඩගනිමින් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක්
දැරණියගල නූරිය ප්‍රදේශයේ 14 හැවිරිදි පිරිමි දරුවකු ගෙලවැලලාගෙන මියගිය සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් සිදු කළ උද්ඝෝෂණයකින් අනතුරුව, එම දේහය ඊයේ (12) දහවල් යළි ගොඩගෙන දෙවැනි වරට පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කර ඇත.
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් සියන්ත අමරරත්න මහතාගේ නියෝගය අනුව, කොළඹ හා අවිස්සාවේල්ල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරු හය දෙනකුගේ සහභාගීත්වයෙන් දේහය ගොඩගත් බව පොලිසිය පැවසීය.
පොලිසිය සඳහන් කළේ, මියගිය දරුවාගේ මව්පියන් අධික මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි අතර ඔවුන් අතර නිතර අඩදබර සිදුවී ඇති බවත්, ඒ හේතුවෙන් දරුවා මානසික පීඩනයට පත්ව සිට ඇති බවත්ය.
දරුවා ජනවාරි 02 වැනිදා නිවස ඉදිරිපිට ගසක රෙදි කැබැල්ලකින් ගෙලවැලලාගෙන සිටියදී අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් මියගොස් තිබුණි. පළමු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එය ගෙලවැලලාගෙන සිදුකරගත් මරණයක් බව තහවුරු වී තිබුණි.
කෙසේවෙතත්, මරණය ඝාතනයක් බවට ගම්වාසීන් සැක පළ කිරීමෙන් පසු නූරිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඒ අනුව දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) කොළඹ අධිකරණ විෂවේදී ආයතනයේදී සිදු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව්පියන් අත්අඩංගුවට ගෙන ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, නූරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(02)
CID ඉදිරිපිට අත්අඩංගුවට ගත් කමාන්ඩෝ සෙබළු දෙදෙනා හමුදාවට භාරදෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් යුද හමුදා කමාන්ඩෝ බලකායට අයත් සේවා පුද්ගලයින් දෙදෙනා එම බලකායේ ප්‍රධානියා වෙත භාරදෙන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් ලහිරුද සිල්වා මහතා ඊයේ (12) නියෝග කළේය.
ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් විශේෂ පුහුණුවක් සඳහා සහභාගී වී ආපසු එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව යුද හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා එහි රඳවා සිටින රැඳවියන්ට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුව සිදුකළ බව CID අධිකරණයට දන්වා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නිලධාරින් මුදාහැර, ගිනි අවිය සම්බන්ධයෙන් ඉදිරියේදී නියෝගයක් ලබාදීමට නඩුව නැවත කැඳවන ලෙස නියෝග කළේය.
(03)
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළ ආරක්ෂකයින් තර්ජනය කළ බවට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් ත්‍රිකුණාමලය වේ පොයින්ට් 1486 උතුරු ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය වෙරළ ආරක්ෂක භටයින් විසින් එම සීමාවෙන් පිටව යන ලෙස තර්ජනය කළ බවට තංගල්ල කුඩාවැල්ලේ බහුදින ධීවර යාත්‍රාවක හිමිකරුගේ පුතකු තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙලෙස පැමිණිල්ල සිදුකර ඇත්තේ “සුපුනි–2” නමැති බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුගේ පුතකු වන කේ.එච්. යසිදු සම්පත් නමැති තරුණයාය.
පෙරේදා (11) උදෑසන මසුන් අල්ලමින් සිටියදී ඉන්දීය වෙරළ ආරක්ෂක යාත්‍රා දෙකක් පැමිණ අහසට වෙඩි තබමින් තර්ජනය කළ බව ඔහු සඳහන් කර ඇත.
ධීවරයින් හය දෙනකු එම යාත්‍රාවේ සිටින අතර, තර්ජනයෙන් අනතුරුව ඔවුන් දකුණු මුහුදු සීමාව වෙත පැමිණෙමින් සිටින බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය නාවික හමුදාව සමග එක්ව විමර්ශන ආරම්භ කර ඇත.
(04)
රුපියල් ලක්ෂ පහක අල්ලස් චෝදනාවට වැලිමඩ අධිකරණ රෙජිස්ට්‍රාර් රිමාන්ඩ්
ඉඩමක භුක්තිය කඩිනමින් ලබාදීමට නියෝග ක්‍රියාත්මක කරදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබූ වැලිමඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන මහතා ඊයේ (12) නියෝග කළේය.
එලෙස රිමාන්ඩ් කෙරුණේ එරන්ද සජිත් රණසිංහ නමැති රෙජිස්ට්රාර්වරයාය.
අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ, ඉඩම් නඩුවකින් අනතුරුව භුක්තිය ලබාදීමට අදාළව මෙම අල්ලස ඉල්ලා ඇති බවත්, එම මුදල් ලබාගත් අයුරු CCTV දර්ශනවල සටහන් වී ඇති බවත්ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.
(05)
රු.1.5 කෝටි වටිනා දුම්වැටි තොගයක් සමග විවාහක යුවළක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික විවාහක යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම යුවළ 01 වැනිදා අලුයම අබුඩාබි සිට පැමිණි ගුවන් යානයකින් කටුනායකට පැමිණ ඇති අතර, ඔවුන්ගේ ගමන් මලු 06 තුළ “ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි කාටූන් 500ක් සඟවාගෙන තිබූ බව පොලිසිය පැවසීය.
මේ වනවිට ඔවුන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ලබන 14 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

