පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන “1977” වෙත පාරිභෝගිකයන්ගෙන් ලැබී ඇති මුළු ඇමතුම් සංඛ්‍යාව 10,616ක් බව එම අධිකාරිය පවසයි.

ඒ අතරින් 5,026ක් වැටලීම් හා විමර්ශන සිදු කළ යුතු පැමිණිලි බව හඳුනාගෙන ඇති අතර, එම පැමිණිලි අදාල දිස්ත්‍රික් කාර්යාල වෙත යොමු කර ඇති බවද සඳහන් කරයි.

2025 දෙසැම්බර් 31 වන විට, එම පැමිණිලි අතරින් 3,844ක් සම්පූර්ණයෙන් විසඳා අවසන් කර ඇති අතර, විසඳුම් ලබා දීමේ ප්‍රගතිය සියයට 76ක් ලෙස වාර්තා වී ඇත. ඉතිරි පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව අධිකාරිය කියයි.

මේ අතර, “1977” අංකය වෙත ලැබුණු ඇමතුම් අතරින් 5,590ක් දුරකථන මගින් උපදෙස් ලබා ගැනීම සඳහා වූ බවත්, පාරිභෝගිකයන්ට සිදු වූ අසාධාරණයන් සම්බන්ධයෙන් පුද්ගලික සහන ලබා ගැනීමට පැමිණිලි ඉදිරිපත් කළ යුතු ආකාරය, අධිකාරියේ කාර්යභාරය පිළිබඳ තොරතුරු, වෙනත් ආයතනවලට අදාල පැමිණිලි යොමු කිරීම සහ විවිධ පාරිභෝගික ගැටලු පිළිබඳ උපදෙස් ලබා දීම ආදී කරුණු ඒ තුළ ඇතුළත් වූ බවද පවසයි.

පාරිභෝගික ඉදිරිපත් කිරීම් සලකා බැලීම හරහා “1977” දුරකථන අංකය ඔස්සේ අධිකාරියේ සේවාව සමාජයට වඩාත් සමීප කර ගැනීමට හැකි වී ඇති බවද අධිකාරිය අවධාරණය කරයි.

තවද, කාර්යාල වෙත පැමිණීමට අපහසු පාරිභෝගිකයන් සඳහා හඬ පණිවුඩ පහසුකම සකස් කර ඇති අතර, ඕනෑම වේලාවක තම පැමිණිලි පටිගත කිරීමට අවස්ථාව සලසා ඇති බවත්, එලෙස ලැබෙන හඬ පණිවුඩ විමර්ශනය කර අදාල විසඳුම් ලබා දීම සිදු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply