ජනපති  අනුර තුමා ලේකම් තුමන්ලා කොළඹට කැඳවයි!

2026 අයවැය ප්‍රතිපාදන ප්‍රශස්ත ලෙස යොදාගන්න ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්

2026 අයවැයෙන් වෙන් කර ඇති සීමිත ප්‍රතිපාදන නිසි කළමනාකරණයකින් යුතුව උපරිම කාර්යක්ෂමතාවෙන් ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

පවත්නා මූල්‍ය සීමාවන් තුළ ජාතික ප්‍රමුඛතාවන් හඳුනාගෙන 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, වෙන් කරන මුදලේ ප්‍රමාණයට වඩා එය ප්‍රශස්ත ලෙස වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දුන්නේය.

ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ මුදල් නිසි ලෙස වැය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම හේතුවෙන් අතීතයේ ජනතාවට බොහෝ සංවර්ධන අවස්ථා අහිමි වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ඇතැම් අවස්ථාවල අයවැය සකස් කිරීමේදී “වියදම් නොවී ඉතිරි වන මුදල්” පුරෝකථනය කර තිබූ බවත්, එවැනි තත්ත්වයක් නැති කරමින් අද අවශ්‍ය මුදල් නියමිත වේලාවට ලබාගත හැකි පරිසරයක් සකස් කර ඇති බවත් ඔහු කීය.

අමාත්‍යාංශ ලේකම්වරු සමඟ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ රජයට වැය කළ හැක්කේ ජාතික නිෂ්පාදනයෙන් සියයට 13ක පමණ ප්‍රමාණයක් බවත්, එයින් අවම වශයෙන් සියයට 4ක්වත් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ යුතු බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ඒ අනුව අමාත්‍යාංශ වෙත මුදල් වෙන් කර ඇත්තේ “රටේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවලට ප්‍රමුඛතාව” යන මූලධර්මය මත බවද ඔහු සඳහන් කළේය.

රටේ ප්‍රධානතම ආයෝජකයා ලෙස රජය කටයුතු කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, 2026 අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1,400ක් වෙන් කර ඇති බවත්, දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි ප්‍රතිසංස්කරණය සඳහා අතිරේකව රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති බවත් කීය.

වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කර අපේක්ෂිත භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මූලික වගකීම බවත්, යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ අහිමි වීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී 2026 වසරට අදාළව අමාත්‍යාංශ මට්ටමින් සැලසුම් කර ඇති ව්‍යාපෘති සහ ප්‍රතිපාදන යෙදවීම පිළිබඳව වෙන් වෙන්ව කරුණු ඉදිරිපත් කෙරිණි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, අමාත්‍යාංශ ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(01) පොලිස් නිලධාරීන්ට මන්නයකින් පහර දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මන්නයකින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මෙම මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියම කළේය.

මාකොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වූ මෙම සැකකරු, මන්නයකින් පුද්ගලයින් දෙදෙනෙකුට හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

(02) කරන්දෙනියෙන් කපා කොටා ඝාතනය කළ පුද්ගල මල සිරුරක්

කරන්දෙනිය කිරිපේද්ද ප්‍රදේශයේ අතුරු මාර්ගයකින් තියුණු ආයුධ භාවිත කර කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයාගත් බව කරන්දෙනිය පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වූ ශෂික පේමරත්න නමැති පුද්ගලයෙකු වන අතර, ඔහු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර, කරන්දෙනිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(03) මාලඹේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රිමාන්ඩ්

මාලඹේ, අතුරුගිරිය සහ හෝකන්දර අවට ප්‍රදේශවල සංවිධානාත්මක විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනෙකු ජනවාරි 7 දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියම කළේය.

තවත් සැකකරුවෙකු දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටද අධිකරණයෙන් අවසර ලබා දී ඇත.

සැකකරුවන් සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය සහ මුදල් තොග සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

(04) නිධන් හෑරූ යුද හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

තණමල්විල කහකුරුල්ලන් පැලැස්ස ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි යුද හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබූ කැණීම් උපකරණ හා පූජා භාණ්ඩද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් නිදාවැල්ලවය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(05) ඉන්දීය ධජය සහිත අද්භූත වස්තුවක් මඩකලපුව වෙරළට

මඩකලපුව ඔන්තාච්චිමඩම් වෙරළට ඉන්දීය ජාතික ධජයක් සහිත අද්භූත වස්තුවක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.

මෙම වස්තුව අභ්‍යවකාශ යානයක කොටසක් විය හැකි බවට සැක පළ වන අතර, එය නැරඹීමට ජනතාව විශාල වශයෙන් එක්ව සිටිති.

(06) ගලේවෙල ප්‍රාදේශීය සභාවෙන් හරක් මස් වෙළඳ බලපත්‍ර

සුදුසුකම් සපුරන ඕනෑම පුද්ගලයෙකුට හරක් මස් වෙළඳාම සඳහා බලපත්‍ර ලබාදීමට ගලේවෙල ප්‍රාදේශීය සභාව තීරණය කළ බව සභාපති යූ.ජී.අයි. කරුණාරත්න මහතා පවසයි.

මෙම තීරණය සම්බන්ධයෙන් විපක්ෂය විරෝධතා පළ කළද, නීතිමය උපදෙස් අනුව ක්‍රියා කරන බව සභාපතිවරයා අවධාරණය කළේය.

(07) ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියගේ බෑගය සොරාගත් රියදුරා අත්අඩංගුවට

උණවටුන වෙරළේදී ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකගේ වටිනා දේපල අඩංගු බෑගයක් සොරාගත් ත්‍රිරෝද රථ රියදුරෙකු පැය 04ක් ඇතුළත අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසිය පවසයි.

(08) ගෝමරන්කඩවල නව සභාපති පත් කෙරේ

ජාතික ජන බලවේගයට බලය හිමි ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ආර්.කේ. නමන්දිසානායක මහතා පත් කර තිබේ.

අදාළ පත්කිරීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

(09) ගල්ඔය ගඟේදී කිඹුලා ඇදගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන්

අක්කරපත්තුව ප්‍රදේශයේ ගල්ඔය ගඟේදී කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඇදගෙන ගොස් ඇති බව වනජීවි නිලධාරීහු පවසති.

අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුම් සිදු කරයි.

(10) කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම

වර්ෂ 2003දී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ බවට වැරදිකරු වූ පුද්ගලයෙකුට ජනාධිපති නියම කරන දිනයක මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස බළපිටිය මහාධිකරණය නියම කළේය.

(11) මාදුරුඔය ජලාශයේ ඔරුව පෙරළී ධීවරයෙකු මරුට

මාදුරුඔය ජලාශයේ ධීවර කටයුතු සඳහා ගිය ඔරුවක් පෙරළීමෙන් එක් ධීවරයෙකු මිය ගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු දිවි ගලවාගෙන ඇත.

(12) ස.තො.ස හිටපු කළමනාකරු රක්ෂිත බන්ධනාගාරයට

රාජ්‍ය දේපළ අවභාවිතයට අනුබල දීමේ චෝදනාවට FCID මගින් අත්අඩංගුවට ගත් ස.තො.ස හිටපු ප්‍රවාහන කළමනාකරු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල අධිකරණය නියම කළේය.

Share.
Leave A Reply