නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ආහාර – නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහලෙන්!

රජයේ රෝහලක ප්‍රථම වරට ආහාර හා පානීය දෙපාර්තමේන්තුවක් (Food and Beverages Department) ස්ථාපිත කරමින් නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි සහ ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතිය අද (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කිරීමට නියමිත බව පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සජිත මල්ලවආරච්චි මහතා පැවසීය.

මෙම නව වැඩපිළිවෙළ යටතේ රෝගියාට වෙන්වූ බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර සහ හොදි වෙන් වෙන්ව තැන්පත් කළ විශේෂ “Customize Plate” පිඟානක් මගින් ආහාර පිරිනැමීම විශේෂත්වයකි. එමඟින් ආහාරය දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක් හා ප්‍රියතාවයක් ඇතිවන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය හා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. නියමු ව්‍යාපෘතිය අද (06) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේදී ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විට රෝහල තුළ එකවර රෝගීන් 2000කට ආහාර සැකසිය හැකි අංගසම්පූර්ණ නවීන මුළුතැන්ගෙයක් සකස් කර ඇති අතර, එයද මෙම වැඩසටහනට සමගාමීව අද විවෘත කෙරේ. මෙතෙක් ‘කුස්සිය’ හෙවත් kitchen ලෙස හැඳින්වූ ඒකකය, ආහාර හා පානීය ද්‍රව්‍ය සම්බන්ධ සියලු කටයුතු කළමනාකරණය කරන “ආහාර හා පානීය දෙපාර්තමේන්තුවක්” ලෙස පරිවර්තනය කර ඇත.

නවීන ආහාර සැකසීම සහ පිළිගැන්වීම සඳහා අදාළ කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක්ද ලබා දී ඇති බව සඳහන්ය. මෙම වැඩසටහනට මහරගම අපේක්ෂා රෝහලේ පාලන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රුහුණු මහා කතරගම දේවාලය, ශ්‍රී ලංකා යුධ හමුදාව, ලේඩි ජේ ආයතනය, හයිඩ්‍රාමනි ආයතනය සහ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලය ඇතුළු පාර්ශව කිහිපයක් සහයෝගය ලබා දෙයි.

නිසි පෝෂණයෙන් සපිරි ආහාර වේලක් මඟින් රෝගීන්ට ඇතිවන සංකූලතා බොහෝමයක් අවම කර ගත හැකි බවත්, ගෙදරින් ගෙන එන ආහාර වේලකට සමාන හෝ ඊට වඩා ගුණාත්මක, රසවත් සහ පෝෂණ අතිරේකයෙන් සපිරි ආහාර ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවත් වෛද්‍ය සජිත මල්ලවආරච්චි මහතා පැවසීය.

මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා රජයේ රෝහල්වලට ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

Share.
Leave A Reply