අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පුළුල් හා ව්‍යුහාත්මක ක්‍රියාවලියක් බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මහත්මිය පැවසුවාය. පවතින අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනාගෙන, කුළුණු පහක් යටතේ මෙම නව අධ්‍යාපන වෙනස ක්‍රියාත්මක කරන බවද ඇය සඳහන් කළාය.

මෙම ප්‍රතිසංස්කරණ සඳහා 2025 වසරේ අයවැය මඟින් රුපියල් මිලියන 24,984ක් වෙන් කර ඇති බවත්, 2026 වසරේ සිට පළමු ශ්‍රේණියේ සිට හයවන ශ්‍රේණිය දක්වා නව අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

වසර 8කට වරක් විෂය මාලා වෙනස් විය යුතු නමුත්, එය මෙතෙක් ශ්‍රී ලංකාවේ නිසි ලෙස සිදුව නොමැති බව ද ඇය පෙන්වා දුන්නාය. විභාග කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමයට වෙනුවට, දරුවන් ඉගෙන ගන්නා ආකාරය මූලික කරගත් නව ඉගැන්වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, ගවේෂණාත්මක හා ප්‍රායෝගික ඉගෙනුමට වැඩි අවධානයක් යොමු කරන බවත් ඇය සඳහන් කළාය.

ගුරු පුහුණුව සම්බන්ධයෙන් ගුරු පුහුණුකරුවන් 7,181 දෙනකු හරහා ගුරුවරුන් 132,580කට පුහුණුව ලබාදී ඇති අතර, ගුරුවරුන්ගේ සියයට 93කට මේ වන විට පුහුණුව සම්පූර්ණ කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. මේ වසරේ සිට අධ්‍යාපන පරිපාලන ක්‍රියාවලිය ඩිජිටල් කිරීමත්, මාර්තු මාසයේදී එය ක්‍රියාත්මක කිරීමත් සැලසුම් කර ඇති බවද ඇය කියා සිටියාය.

හයවන ශ්‍රේණිය සඳහා භාවිත කළ මොඩියුලය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ නීතිමය පියවර ගන්නා බවත්, ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර විමර්ශනයක් සිදු කරන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර පරීක්ෂණ සිදු කරන බවද ඇය අවධාරණය කළාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමරිසි හෝ වෙනත් දේශපාලනික හෝ සමාජික අරමුණු මත සිදු කරන එකක් නොවන බවත්, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම ජාතික අවශ්‍යතාවයක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඇය පැහැදිලි කළාය. ලෝක බැංකුවේ ඩොලර් මිලියන 200 ආධාර හා මෙම ප්‍රතිසංස්කරණ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රජයේ සමුහික තීරණයක් – විජිත හේරත්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, පාසල්වල භෞතික හා මානව සම්පත් හිඟය නිසා අධ්‍යාපන සම්පත් බෙදාහැරීමේ විෂමතාවයක් පවතින බවය. වෙනස් වන සමාජයට හා අනාගත ආර්ථිකයට ගැළපෙන නව විෂයන් හඳුන්වා දීමට මෙම ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අගමැතිවරියගේ තනි තීරණයක් නොව, රජයේ සමුහික ක්‍රියාවලියක් බවත්, ජනතාවගේ අදහස් හා යෝජනා ලබාගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය. හයවන ශ්‍රේණියේ මොඩියුලය සම්බන්ධ ගැටලුවලට වගකිවයුතු අය හඳුනාගෙන දැඩි විනය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රටට යහපත් අධ්‍යාපනයක් සඳහාම පියවර – රජය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, රජය සිදුකරන්නේ රටට සහ දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනගා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග බවය.

රජය පෙන්වා දෙන්නේ, පෙර පාසල් මට්ටමේ සිට උසස් පෙළ දක්වා ක්‍රමිකව ක්‍රියාත්මක වන මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රටේ අනාගත පරපුර ලෝකයට ගැළපෙන ලෙස සූදානම් කිරීමේ ජාතික වගකීමක් බවයි.

Share.
Leave A Reply