.png)
“පැවැත්මෙන් ඔබ්බට” මාතෘ හා නවජ සත්කාරයේ නව යුගයක ඇරඹුම: මහාචාර්ය රුවන්ති පෙරේරා ප්‍රසව හා නාරිවේද සංගමයේ 25 වන සභාපතිනිය ලෙස අභිෂේක ලබයි
ශ්‍රී ලංකාවේ මාතෘ හා නවජ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ (Perinatal Society of Sri Lanka) 25 වන සභාපතිනිය ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය ඊයේ (02) නිල වශයෙන් වැඩකටයුතු ආරම්භ කරන ලදී.
කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් (The Grand Maitland) හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු මෙම අභිෂේක මංගල්‍යය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දියුණු සත්කාරයෙන් සපිරි සමෘද්ධිමත් අනාගතයක්
මෙවර සංගමයේ තේමාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ “පැවැත්මෙන් ඔබ්බට: දියුණු මාතෘ හා නවජ සත්කාර සමඟ සමෘද්ධිමත් වීම” (Beyond Survival: Thriving with Advanced Maternal and Neonatal Care) යන්නයි. හුදෙක් රෝගියෙකු ජීවත් කරවීමට එහා ගිය, ගුණාත්මක සහ තාක්ෂණික වශයෙන් දියුණු සෞඛ්‍ය සේවාවක් මව්වරුන්ට සහ බිළිඳුන්ට ලබාදීම මෙහි මූලික අරමුණ වේ.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දැක්ම
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, වර්තමාන සංකීර්ණ සෞඛ්‍ය අභියෝග හමුවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥයන්ගේ කාර්යභාරය වෙනදාටත් වඩා තීරණාත්මක වී ඇති බවයි.
“අභියෝගාත්මක කාලසීමාවන් තුළ වුවද අපේ සෞඛ්‍ය පද්ධතිය ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කළා. මව්වරුන්ගේ සහ අලුත උපන් බිළිඳුන්ගේ මරණ අනුපාතය අවම කරමින්, ඔවුන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට රජය කැපවී සිටිනවා. මේ සඳහා අමාත්‍යාංශය හඳුන්වා දුන් ‘ආරෝග්‍යා’ මධ්‍යස්ථාන හරහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ජනතාවට තවදුරටත් සමීප කරනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.
වෘත්තීය විශිෂ්ටත්වය සහ කැපවීම
වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමය පර්යේෂණ, අධ්‍යාපනය සහ සාක්ෂි මත පදනම් වූ සායනික පුහුණුව (Evidence-based practices) තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සිදු කර ඇත. නව සභාපතිනියගේ නායකත්වය යටතේ එම විශිෂ්ටත්වය තවදුරටත් ඔපමට්ටම් වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වය
මෙම විශේෂ අවස්ථාවට:
වෛද්‍ය අසේල ගුණවර්ධන (සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්)
(Dr. Rajesh Sambhajirao Pandav) වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත)
වෛද්‍ය හරේන්ද්‍ර දිසානායක (හිටපු සභාපති)
ඇතුළු මෙරට ප්රමුඛ පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. නව කවුන්සිලය සහ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය වෙත සියලු පාර්ශවයන් සිය සුබ පැතුම් පිරිනමන ලදී.
වාර්තාකරණය: මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න මාධ්‍යවේදී යොහාන් රසිඳු
සමඟින් පුහුණු එරන්දි නාන්දූවගේ
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 20 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන(Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studies-training/
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.

