සිනමාවේ සදාකාලික ගී රාජිනිය වූ කලාශූරී ලතා වල්පොල දිවි ගමනට සමු දුන්නා ය. හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය පසුගිය (27) දින අභාවප්‍රාප්ත වූවාය. මියයන විට  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය (92) වන වියේ පසුවුණි.

හෙළයේ ගීත කෝකිලාවිය කලා ශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට නියමිතයි. ඇයගේ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට රජය තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පැවසීය.

ඇයගේ දේහය අද (29), හෙට (30) දක්වා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැම්පත් කර තැබීමට තීරණය කර ඇත. ඉන් අනතුරුව ලබන බදාදා (31) උදෑසන කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේ දේහය තැම්පත් කෙරේ. මේ අනුව (31) වන දින සවස කොළඹ බොරැල්ල කන්තේ දී ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව  තිබේ.

සිංහල ගීත ලෝකයේ සරණීය ස්වරය නිහඬ කරමින් ඇය ජීවිත රඟ මඩලට සමු දුන්නාය. දේශමාන්‍ය මාතරගේ රීටා ජෙනිවිව් ප්‍රනාන්දු, සිංහල ගීත ලෝකය “ලතා වල්පොල” ලෙස ආදරයෙන් හඳුනාගත් ජ්‍යෙෂ්ඨ ගායිකාව ජන හඳවත් දිනා ගත්තාය.

1934 නොවැම්බර් 11 දින බම්බලපිටිය මහ රෝහලේදී ජෝසප් ලින්ස් ප්‍රනාන්දු සහ මාතර එලිසබෙත් මියුරියෙල් යන දෙමාපියන්ට උපත ලැබූ ඇය, කුඩා කල සිටම ගායනය, නර්තනය හා රංගනය කෙරෙහි විශේෂ දක්ෂතාවයන් දැක්වූවාය.

ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන සමයේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ නායිකාව වීමටත්, පාසල් නාට්‍ය රංගනයෙන් ප්‍රේක්ෂක සිත් දිනා ගැනීමටත් ඇය සමත් වූවාය.

ගල්කිස්ස පීරිස් මාවතේ වාසය කිරීම, වින්සන්ද අල්විස්, සුසිල් ප්‍රේමරත්න, සී.ටී. ප්‍රනාන්දු වැනි ප්‍රවීණ කලාකරුවන්ගේ අසල්වැසිත්වය ඇයගේ කලා ජීවිතයට දිගගමනකට තෝතැන්නක්  වූවාය.

වින්සන්ද අල්විස් සමඟ ගුවන් විදුලි සරල ගී වැඩසටහන්වලට දායක වීමත්, “නමෝ මරියනි” ගීතය කොලොම්බියා තැටියකට නැඟීමත් ඇයගේ ජනප්‍රියත්වය තවදුරටත් ඉහළ නැංවීය. භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ ස්වරයට සමානත්වයක් දැක, සුසිල් ප්‍රේමරත්න විසින් “ලතා” යන නාමය යෝජනා කිරීමත් සමඟ “රීටා” සිංහල සංගීත ලෝකයේ “ලතා” බවට පත් වූවාය.

“එදා රෑ” චිත්‍රපටයේ “හරි හරි” ගීතයෙන් සිනමා ගමන ඇරඹූ ඇය  “ප්‍රේම තරඟය”, “සංදේශය”, “රේඛාව”, “කුරුළු බැද්ද”, “වීර විජය” ඇතුළු චිත්‍රපට රැසක අමරණීය ගීත ගායනා කරමින් සිංහල සිනමාවේ සරණීය ස්වරයක් බවට පත් වූවාය.

1957 දී ප්‍රවීණ ගායක ධර්මදාස වල්පොල මහතා සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඇය, සුනෙත්, අමිත්, ධම්මිකා හා චමින්ද යන දරුවන් සිව් දෙනාගේ ආදරණිය මව වූ වූවාය.

සරසවි සම්මාන පහක්, ජනාධිපති සම්මාන දෙකක්, කලාශූරි, රණතිසර, වීර විදහන රන්සිළු ඇතුළු ගෞරව රැසක් හිමිකරගත් ලතා වල්පොල මහත්මිය, 1998 දී “ලතා රන්රස ප්‍රණාම” මඟින් ගායන දිවියේ ස්වර්ණ ජයන්තියද සැමරුවාය.

කාලය ගලා ගිය ද, තාක්ෂණය වෙනස් වුවද, ලතා වල්පොලගේ සරණීය ස්වරය සිංහල ගීත ලෝකයේ සදාකාලිකව ගැයෙමින් පවතිනු ඇත.

සිංහල ගීත ඉතිහාසයේ සරණීය ස්වරයකට හිමි වූ අමරණීය නිහඬත්වය සමඟ, හෙළයේ ගීත කෝකිලාවිය ලෙස ජන හදවත් දිනාගත් කලාශූරී ලතා වල්පොල මහත්මිය ජීවිත රඟමඩලට සමු දුන්න ද  කාලය ගලා ගිය ද, අපේ කාලයේ පරම්පරා වෙනස් වුවද, සිංහල සිනමාව හා ගීත ලෝකය අලංකාර කළ ඇයගේ හඬ අදත් අප මතක අතර සදාකාලිකව ගැයෙමින් පවතිනු ඇත.

හදවතේ ගායනයෙන් සිත් සමාධිගත කළ රසවිතයෙන් මනස සුවපත් රසවිතයකට කැඳවාගෙන ගිය ලතාගේ මතකය අප අතර ඉතිරි කරමින් මළ හිරු බැසයන නිමේෂයේ දී ලක්ෂ සංඛ්‍යාත රසිකයන්, කලාකරුවන්  හඬවමින් ඇය සමුගත්තා ය.

Share.
Leave A Reply