(01)
“රහස් පොලිසිය” කියා කාන්තාවන් පැහැර අතවර කළ 47 හැවිරිදි පුද්ගලයෙක් අත්තිඩියෙන් කොටු
(02)
ගිනි අවියක් තබා තර්ජනය කළ බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරේ
(03)
දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දරුවන් 39කට දෙමාපියන් අහිමි වෙයි – මරණ 241ක්
(04)
අම්බලන්ගොඩ නගරාධිපති අපේක්ෂක ඝාතනය: ප්‍රධාන සැකකරු කොල්ලුපිටියෙන් අත්අඩංගුවට
(05)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ට නිකුත් වරෙන්තුව අධිකරණයෙන් ආපසු කැඳවයි
(06)
හුළු අතු වලින් අලියෙකු පුළුස්සා මරා දැමූ සිද්ධිය: සැකකරුවන් ජනවාරි 8 තෙක් රිමාන්ඩ්
(01)
රහස් පොලිසියෙන් යැයි පවසමින් මාර්ගයේ ගමන් කරනු ලබන තරුණ කාන්තාවන් සැක කටයුතු කියා පරීක්ෂා කිරීමට යැයි පවසා බලහත්කාරයෙන් කාර් රථයට නංවාගෙන පාළු ස්ථානවලට රැගෙන ගොස් අතවර කර පලා යන පුද්ගලයකු ඉකුත් 20 වන දින ගල්කිස්ස ළමා හා කාන්තා කාර්යාංශය මගින් එම කාර් රථයද සමග අත්තිඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසීය පැවසීය.
සැකකරු මහියංගණය ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 47ක් වන අතර, ගල්කිස්ස ටෙම්පලර් පාර නවාතැන් පලක තාවකාලිකව පදිංචිව සිටිමින් මෙලෙස අතවර කිරීම් සිදු කරමින් සිටින අයකු බවටද අනාවරණය වී ඇතැයිද පොලිසිය පැවසීය.
මෙවැනි අතවර කිරීමේ සම්බන්ධව පසුගිය පෙබරවාරී මස සිදුකළ පැමිණිල්ලකට අනුව එම මාර්ගවල සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කරමින් ඒ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කරන ලද අතර ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂිකා රඡිණී රාජපක්ෂ මහත්මිය වෙත ලද බුද්ධි තොරතුරක් මත අත්තිඩිය ප්‍රදේශයේදී එම කාර් රථයද සමග අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ. ගුණසේකර, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එච්.ඒ.ආර්. චමින්ද හෙට්ටිආරච්චි යන මහතූන්ගේ අධීක්ෂණය මත ගල්කිස්ස ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා රඡිණී රාජපක්ෂ මහත්මිය ඇතුළු පොලිස් කොස්තාපල්වරුවන 97379 ලක්ෂාන්, කාන්තා පොලිස් කොස්තාපල් 11982 රත්නායක යන නිලධාරීන් විසින් සිදුකරගෙන යනු ලබයි.
(02)
පුද්ගලයෙකුගේ හිසට ගිනි අවියක් තබා මරණ බවට තර්ජනය කොට පහර දීමේ සිද්ධියක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බියගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙකු සමග තවත් පුද්ගලයෙකු රුපියල් හත් දහස බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට මහර අංක 02 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා ( 23 වැනිදා ) නියම කරනු ලැබීය.
තවද ඇපකරුවන් ප්‍රදේශයේ පදිංචි බවට තහවුරු කළ යුතු බවට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
බියගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ( පොහොට්ටුව ) හිටපු මන්ත්‍රී සුජිත් හර්ෂණ හා බුද්ධික චමින්ද යන දෙදෙනා මෙසේ මුදල් හා ශරීර ඇප මත මුදා හැරිණි.
මෙම සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බියගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ( පොහොට්ටුව ) වත්මන් මන්ත්‍රී ප්රබාශන ප්‍රභාත් , ප්‍රසාද් ප්‍රසන්න හා අමිල කසුන් යන තිදෙනා මීට ඉහත ඇප මත මුදා හැර තිබුණේය.
මෙම සැකකරුවන් පස්දෙනාම මාකොළ හා අවට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙහිදි සපුගස්කන්ද පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් චමින්ද මහතා ( 478 ) විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.
මේ සිද්ධියේදී පහර දීම සම්බන්ධව විමර්ශනයේදී අනාවරණය වු සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගත්තා. මේ සිද්ධිය සිදු වු ස්ථානයට තවත් අය ඇවිත් තිබෙනවා. නමුත් එම අය පහර දුන් බවට අනාවරණය වුනේ නැහැ. එහිදි තුවාල ලැබු තැනැත්තා රෝහල් ගත වුනේ නැහැ. එහි ඉදිරි විමර්ශන කටයුතු සිදු කර ගෙන යනවා.
සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසුහ.
මේ සිද්ධිය ඉකුත් 13 වැනිදා පස්වරුවේ මාකොළ රන්කෙත්යාය ප්‍රදේශයේදී සිදු වුනා. මෙය මුදල් ආරාවුලක් මත සිදුවුවක් වෙනවා. දැන් දෙපාර්ශවයම මෙය සමථයකට පත් කර ගැනීමට කැමතියි. මේ සිද්ධියට ගත් සැකකරුවන් තිදෙනෙකු මේ වනවිට ඇප මත මුදා හැර ද තිබෙනවා. ඒ නිසා රක්ෂිත බන්ධනාගාරයේ සිටින සෙසු දෙදෙනා ද ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා. මේ ගිනි අවියට බලපත්‍රයක් තිබෙනවා.
දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් දෙදෙනා ඇප ලබා මුදා හැරීමට නියම කරනු ලැබීය.
එහි වැඩිදුර විභාගය ලබන මැයි මස 15 වැනි දිනට කල් තැබීණි.
සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ජී.සුරවීර මහතාගේ උපදෙස් අනුව එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් චමින්ද ( 478 ) හා පොලිස් කොස්තාපල් ජයසිංහ ( 103658 ) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන උපුල් ගුණසේකර , සුගත් තල්වත්තේගෙදර හා පැතුම් ගමගේ යන මහත්වරුන් පෙනී සිටීයහ
(03) ගංවතුර හා නාය යෑම් වලින් මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන් 32 නෙකුට පියා ද දරුවන් 07 දෙනෙකුට මවද අහිමි වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දරුවන් තිදෙනෙකුට මව සහ පියා යන දෙදෙනාම අහිමි වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (23) පැවැති ආපදා කළමණාකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව අනාවරණය කළේය.
ආපදා හේතුවෙන් ගැබිණි මව්වරු 323 දෙනෙකු සහ අවුරුදු 05ට අඩු දරුවන් 1791දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද රණවීර මහතා කීවේය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ආපදා නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 241ක් මරණයට පත්ව 68 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.
පුද්ගලයන් 114 දෙනෙකු ආපදා හේතුවෙන් තුවාල ලබා ඇති බවද ඒ මහතා පැවසුවේය.
ආපදා තත්ත්වයේ බලපෑමෙන් නිවාස 1959ක් පූර්ණ හානියට ලක්ව තිබේ.අර්ධ වශයෙන් හානි වූ නිවාස ගණන 16 565කි. මේ හේතුවෙන් පවුල් 55804 ක සාමාජික සාමාජිකාවන් එක්ලක්ෂ අසූදහදහස් තුන්සිය තිස් පස් දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ද මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට ලක්වූ පුද්ගලයන් අතරින් පවුල් 23244 ක් ඥාති නිවාසවල ද තවත් පවුල් 2089 ක් මහනුවර දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 95 කද රඳවා සිටින බව මෙහිදී අනාවරණය විය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ මහත්මිය එහිදී අදහස් දක්වමින් නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 25 000 මුදල ගෙවීම අවසන් අදියරේ පවතින බවත් පීඩාවට පත් සෑම පවුලකටම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් වියළි සලාක ලබා දෙන බවත් පැවසුවාය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකොන්, ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් සහ මහජන නියෝජිතයන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්යක්ෂ මහේන්ද්‍ර විජේපාල යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරී පිරිසක් ද සහභාගී වූහ.
(04) අම්බලන්ගොඩ නගරාධිපති අපේක්ෂකයා ඝාතනය කිරීමේ සැකකරුවකු කොටු.
යතුරු පැදිය බයිසිකලය පැදවූ පුද්ගලයාදැයි සැක.
අම්බලන්ගොඩට දැඩි ආරක්ෂාවක්.
පසුගියදා (23) (පෙරේදා) අම්බලංගොඩ සිංහර් වෙළෙඳ ආයතනය තුළදී වෙඩි තබා මරා දැමූ විද්‍යාල මාවත අම්ලංගොඩ පදිංචි සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා (44) යන අය පසුගිය 22 වැනි දා සිංගර් ආයතනය තුළදීම වෙඩි තබා මරා දමා තිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් සී.සී.ටී.වී. දර්ශන ඇතුළු විවිධ හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවත් ඒ අනුව එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි.
ඒ අනුව ඝාතනය සම්බන්ධෙන් කුරුඳුවත්ත ආඳාදොල ප්‍රදේශයේ දී හමුවූ යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවට සැක කරන ප්‍රධාන සැකකරුවකු කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පොළක සැගවී සිටියදී පොලිස් මූල්‍ය අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (22) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
මේ වනවිට සැකකරු අම්බලන්ගොඩ පොලිසියට රැගෙන ඒමට නියමිත අතර වත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම මිනීමැරුම් සිද්ධියේ තොරතුරු අනාවරණය කර ගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් අම්බලංන්ගොඩ පොලිසිය කියයි
දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙනිය මහතාගේ උපදෙස් පරිදි අම්බලංගොඩ සහකාර පොලිස් අධිකාරි ජී.බී.එස්. කෝදාගොඩ මහතාගේ අධීක්ෂණය යටතේ අම්බලන්ගොඩ ප්‍රධාන පොලිස් පරීක්ෂක (වැ.බ.) රණවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.
මියගිය හිරාන් කෝසල මහතාගේ අවසන් කටයුතු ඊයේ (24) සිදු කිරීසට නියමිතව තිබූ අතර අම්බලන්ගොඩ විද්‍යාල මාවත හා අවට පොලිස් හා හමුදා ආරක්ෂාව දැඩි කර තිබුණි.
(05) පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතාට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්තාත් ලහිරු සිල්වා මහතා ඊයේ (24) නියෝග කළේය.
එමෙන්ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මුදා හරිනු ලැබූ පෙර ඇප මත සැකකාර මන්ත්‍රිවරයා මුදා හරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පවතින නඩුවක් කොටුව අධිකරණය හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තු නිකුත් කර තිබූ අතර ඊයේ උදෑසන නීතිඥවරයෙක් මගින් කොටුව පොලිසියට පැමිණ බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෝසමක් ගොනු කරමින් කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර මන්ත්‍රිවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පැවැති ආපදා තත්තවය හමුවේ නඩුව කැදවීමට තිබූ පසුගිය නඩු දිනයේ නඩුව කැඳවූයේ නැති බව එහිදී සැකකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රෙස්න මහතා ප්රමුඛ නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ කියා සිටියේය .
වෙනත් දිනයක් දැන්වීම් පුවරුවේ සඳහන් කර නොතිබූ බව කී ඒ මහතා ප්රවෘත්ති මගින් වරෙන්තු කර ඇති බව දැනගත් බවද එහිදී සැකකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් කියා සිටියේ කියා සිටියේය.
ඒ අනුව ඊයේ දිනයේ උදෑසන කොටුව අධිකරණයට මෝසන් පත්‍රයක් මගින් ඉදිරිපත් වීමට ගිය බවත් එහිදී එය භාර නොගත් බවත් කී නිතිඥවරයා ඒ අනුව කොටුව පොලිසියට බාර වූ බවත් කියා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පෙර ඇප මත එනම් අධිකරණය හමුවේ පෙර දිනයේ තැන්පත් කරන ලද රුපියල් ලක්ෂ පහක මුදල් ඇපය මුදා හරින ලෙස නියෝග කළේය.
සැකකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රෙස්න, නිතිඥ මොහොමඩ් අස්වර් සහ මොහොමඩ් නිබ්රාස් යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
6) හුළු අතු වලින් පුළුස්සා වන අලියකු මරා දැමීමේ සිද්ධිය…………
සැකකරුවන් තිදෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්නැයි නීතිඥයින් දැඩිව කළ ඉල්ලීම් සියල්ල අධිකරණය තරයේ ප්‍රතික්ෂේප කරයි…….
සියලු සැකකරුවෝ ජනවාරි 8 තෙක් රිමාන්ඩ්…… ……….
සැකකරුවන්ගේ බලපෑම් මත අලියා පුළුස්සන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මකා දමා ඇති බවත් අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් රජයේ අධි නිතීඥ කලණ කොතලාවල අධිකරණයට කියයි……
සැකකරුවන්ට පූර්ව නිර්දෝෂි භාවයේ නිගමනය ඇති බැවින්, ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ජේෂ්ඨ නීතිඥ රංජිත් රාජකාරුණා අධිකරණයෙන් ඉල්ලයි……..
හුළු අතු වලින් ගිනි තබා, ඇස්පෙනීමේ දුර්වලතාවයකින් හෙබි වෙඩි වැදීමක් හේතුවෙන් පාදයක ආබාධයක් හේතුවෙන් ඇවිදීමේ අපහසුතාවයකින් පෙළෙන වනඅලියෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකරුවන් තිදෙනාට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය ඇති බැවින් ඇප පනතේ 14(1) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුවන් තිදෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට නීතිඥයින් කළ ඉල්ලීමක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සඳුනි හපුආරච්චි මෙනවිය ( 24දා) ප්‍රතික්ෂේප කළාය.
ඒ අනුව සියලු සැකකරුවන් ජනවාරි මස 8 වන දින දක්වා යළි රිමාන්ඞ් භාරයට පත් කිරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.
මෙසේ යලි රිමාන්ඩ් භාරයට පත් කළේ මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම අඹගහවෙල හංදියේ පදිංචිකරුවන් වන ජේ.එම්. සිසිර සේනාධීර , ජේ.එම් ප්‍රසන්ත චලින්ද කුමාර සහ ජේ.එම්. වසන්ත විජය කුමාර යන සැකකරුවන්ය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ කලණ කොතලාවල මහතා සඳහන් කළේ, අලියාට ගිනි තැබීම වීඩියෝ ගත කළ විශ්ව විද්‍යාල සිසුවාට සැකකරුවන්ගේ පාර්ශවයන් විසින් බලපෑම් කර ඇති බව අනාවරණය වී තිබෙන බවයි.
එම බලපෑම හේතුවෙන් අලියාට ගිනි තැබීමේ සිද්ධියේ මුල් වීඩියෝ දර්ශන මකා දමා ඇති බවට විමර්ශනවලදී හෙළිවි ඇතැයි අවධාරණය කළ රජයේ අධි නීතිඥවරයා ඒ සඳහා නිශ්චිත කරුණු අනාවරණය කර ගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුවාට අයත් අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අවශ්‍ය බවද කීවේය.
මෙම අපරාධයට සම්බන්ධ බවට තවත් සැකකරුවන් සිටින බවට අනාවරණය වී ඇතැයිද කියා සිටි රජයේ අධි නීතිඥ කලණ කොතලාවල මහතා සැකකරුවන් සැප මත මුදා හැරියහොත් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ ඉදිරි විමර්ශන කටයුතු වලට බලපෑම් සහ බාධා එල්ල විය හැකි බවද කියා සිටියේය.
අලියා පිළිස්සීමට යොදා ගත් හුළු අතුද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බවද අධිකරණයට පවසා සිටි රජයේ අධි නීතිඥවරයා, එම හුළු අතුද නඩු භාණ්ඩ ලෙස නම් කරන බව දැන්වීය.
අලියා මිය ගොස් ඇත්තේ පිලිසීම හේතුවෙන් නැති වූ කම්පන තත්ත්වය නිසා අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල පටක වලට සිදු වූ හානි හේතුවෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි ද ප්‍රකාශ කළ රජයේ අධි නීතිඥවරයා සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් ස්වකීය විරෝධය පළ කරන බවත් ඒ අනුව ඔවුන් සියලු සැකකරුවන් යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජේෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා පැවසුවේ නිර්දෝසී භාවයේ පූර්ව නිගමනය සැකකරුවන්ට ඇති බැවින් අප පනතේ14 ( 1) වගන්තිය ප්‍රකාරව සැකකරුවන්ට අප ලබා දීමේ හැකියාව මෙම අධිකරණයට පවතින බවයි.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන්ගෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් විවිමර්ශන සඳහා ඔවුන්ගේ උපරිම සහාය ලබා දෙන බවත් අධිකරණයට ප්‍රකාශ කළ නීතිඥවරයා .දීර්ඝව . කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසයි
දීර්ඝ වේලාවක් දෙපාර්ශවය කල කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට නීතිඥයින් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ජනවාරි මස 8 දින දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් මිහින්තලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් මහතා ඇතුළු නිලධාරින් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ රජයේ අධි නීතිඥ කලණ කොතලාවල මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා සමග නීතිඥවරුන් වන නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා සහ නීතිඥ ප්‍රියදර්ශනී අත්තනායක මහත්මිය පෙනී සිටියාය.
සුරැකිමු ලංකා සංවිධානය ඇතුළු සත්ව සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන වෙනුවෙන් නීතිඥවරුන් වන සුසිල් සිරිවර්ධන සහ නලින්ද සිල්වා යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර නිරීක්ෂණ පාර්සවයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් නීතිඥ චතුර ධනංජය රණතුංග මහතා සමග නීතිඥවරුන් වන රුවිනි ජයතිලක සහ තක්ෂලා ඒකනායක යන මෙනවියන් පෙනී සිටියාය.
මෙම නඩුව දැක බලා ගැනීම සඳහා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් සහ සුරැකීමු ලංකා සංවිධානයේ පාහියන්ගල ආනන්ද සාගර යන හිමිවරුන් විවෘත අධිකරණයේ වැඩම කර සිටියහ.

