කොළඹින් ගමටත් – ගමෙන් කොළඹටත්! උත්සව සමයට ඒකාබද්ධ විශේෂ ප්‍රවාහන සැලැස්මක්!

උත්සව සමය වෙනුවෙන් අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹින් පිට පළාත්වලටත් යළි අගනුවරට පැමිණීමටත් විශේෂ බස් රථ හා දුම්රිය සේවාවන් ඇතුළත් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩපිළිවෙල ජාතික ගමනාගමන කොමිසමේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ සියලු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වෙයි.

දැනට ක්‍රියාත්මක කාලසටහන්වලට අමතරව විශේෂ බස් හා දුම්රිය ගමන්වාර යෙදවීම මගින් මගී ජනතාවට වැඩි ප්‍රවාහන පහසුකම් සැලසෙන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා අද ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

නත්තල් උත්සවය, දිර්ඝ සති අන්ත නිවාඩුව සහ එළඹෙන නව වසර සැලකිල්ලට ගනිමින් මෙම ඒකාබද්ධ සැලැස්ම ක්‍රියාත්මක කර ඇති අතර දුර ගමන් සේවා සහ නගර අතර ප්‍රවාහන සේවා වඩාත් සක්‍රීය කිරීමට මෙය උපකාරී වන බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංගම ඩිපෝ සියල්ල මේ සඳහා සම්බන්ධ කරගෙන ඇති බවද සභාපතිවරයා පැවසීය.

ජාතික ගමනාගමන කොමිසමේ නියාමනය යටතේ දුර ගමන් බස් සේවා කඩවත, කඩුවෙල සහ මාකුඹුර මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර අධිවේගී මාර්ග හා මුහුදුබඩ මහාමාර්ගය හරහාද නව සැලැස්මක් අනුව බස් සේවාවන් ක්‍රියාත්මක වේ.

ගාල්ල හා මාතර දෙසට ගමන්වාර 70ක් යොදවා ඇති අතර කොළඹ බැස්ටියන් මාවත, මාකුඹුර පර්යන්තය සහ කඩුවෙල ඇතුළු ආරම්භක ස්ථාන නිරන්තරයෙන් අධීක්ෂණය කෙරේ. කුරුණෑගල – කොළඹ අංක 5 සහ 6 මාර්ග සඳහාත් කුරුණෑගල – මීරිගම අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹටත් විශේෂ බස් සේවා ක්‍රියාත්මකය.

මධ්‍යම පළාත තුළද ඒකාබද්ධ ප්‍රවාහන වැඩසටහන් ක්‍රියාත්මක වන අතර බදුල්ල, අම්පාර ඇතුළු දුර ගමන් සේවා කොළඹ බැස්ටියන් මාවත කේන්ද්‍ර කර ගනිමින් විශේෂ කණ්ඩායම් යොදවා පවත්වාගෙන යනු ලබයි.

අපදා හේතුවෙන් හානි වූ ප්‍රදේශවලටද බස් ධාවනයට ප්‍රමුඛතාව ලබාදී ඇති බවත් මෙම ඒකාබද්ධ සේවාව එළඹෙන ජනවාරි 5 දක්වා ක්‍රියාත්මක වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. ප්‍රවාහන ගැටළු 1955 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මගී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ, උතුරු, උඩරට, නැගෙනහිර සහ පුත්තලම දුම්රිය මාර්ගවලට සිදුවූ හානි ප්‍රතිසංස්කරණය කර ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවය.

ඒ අනුව කොළඹ කොටුව – කන්කසන්තුරය අතර දුම්රිය ධාවනය යථා පරිදි සිදු වන අතර මඩකලපුව දුම්රිය අද උදෑසන සිට ධාවනය ආරම්භ කර ඇත. උඩරට මාර්ගයේ අඹේවෙල – බදුල්ල අතර ඉහළ හා පහළ දුම්රිය වාර හතරක් ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.

ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, මෙම වැඩපිළිවෙල සඳහා අමතර බස් රථ 100ක් සූදානම් කර ඇති අතර 28 සහ 29 දිනවල කොළඹට නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන්ද විශේෂ සැලැස්ම ක්‍රියාත්මක කරන බවය.

Share.
Leave A Reply