දිට්වා සුළි කුණාටුවෙන් හා එයින් අනතුරුව ඇතිවූ ව්‍යසනයට ශ්‍රී ලංකාවේ ධීවරයන්, ගොවියන් හා කම්කරුවන් ඇතුළු වැඩකරන ජනතාව වගකිව යුතු නොවන බව හෙතෙම පැවසීය.

දිට්වා කුණාටුව පිළිබඳව කොළඹ සිංහ සමාජ ශාලාවේදී පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, මෙම ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7කට අධික ආර්ථික හා දේපළ විනාශයක් සිදුව ඇති බවයි.

දිට්වා සුළි කුණාටුව ඇති වූ පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකාවට ජලය ඝන ලීටර් බිලියන 13ක් පමණ වැටී ඇති අතර, එය රටේ බිම් පද්ධතියට දරාගත නොහැකි මට්ටමක වැසි ප්‍රමාණයක් බව සඳහන් කළේය.

මෙවන් අතිශය කාලගුණික තත්ත්වයන්ට ප්‍රධාන හේතුව වන්නේ ගෝලීය දේශගුණ විපර්යාස බවත්, මේ වනවිට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.2කින් ඉහළ ගොස් ඇති බවත් ජයගොඩ මහතා පැවසීය.

එයට කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් හා මීතේන් වැනි වායු විශාල ලෙස වායුගෝලයට මුදාහැරීම හේතු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2021 වසරේ නිකුත් කළ වාර්තාවකට අනුව ලෝකයේ මුළු කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් සියයට 37ක් ලෝකයේ පොහොසත්ම ධනකුවේරයන් 100 දෙනා විසින් සිදුකරන බව ද ඔහු අවධාරණය කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක රැසක් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයට අඩි 20ක පමණ ගංවතුරක් පැමිණ ඇති බවද ඔහු පැවසීය.

පෙර කාලයේ ගංවතුර නොආ පේරාදෙණිය, ගම්පොළ හා ගෙලිඔය වැනි නගරද මෙවර සම්පූර්ණයෙන්ම ගංවතුරට ලක්ව ඇති බවද හෙතෙම කීය.

ලංකාවේ පරිසර විනාශයට තවත් ප්‍රධාන හේතුව 1996 වසරේ සම්මත කළ පාංශු සංරක්ෂණ පනත ක්‍රියාත්මක නොවීම බවද හෙතෙම ප්‍රකාශ කළේ ය.

මෙම පනත සම්මත වී වසර 30කට ආසන්න කාලයක් ගතවී තිබුණ ද, අදටත් පාංශු සංරක්ෂණ කලාප නම් කර නොතිබීම හා රෙගුලාසි ගැසට් නොකිරීම දැඩි අසමත්කමක් බව ඔහු චෝදනා කළේ ය.

2021 වසරේදී ගංගා වැලි කැණීම් සම්බන්ධ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට ආණ්ඩුව උත්සාහ කළ බවත්, එය ගංගා පද්ධති විනාශයට හේතු වී ඇති බවත් ඔහු පැවසීය.

මෙවැනි ව්‍යසනයකදී ආණ්ඩුව කළ යුත්තේ නවලිබරල් නීති ගෙන ඒම නොව, ජනතාවට සහන සැලසීම බවත්, අවම වශයෙන් වසර 01ක කාලයක් සඳහා බැංකු, ක්ෂුද්‍ර මූල්‍ය හා ලීසිං ණය වාරික අහෝසි කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

එසේ නොමැති නම්, මෙම විනාශයේ වන්දිය දිගටම ගෙවීමට සිදුවන්නේ පරිසර විනාශයට කිසිඳු දායකත්වයක් නොදුන් වැඩකරන ජනතාවට බවද පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.  

Share.
Leave A Reply