හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 193කට අධික තොගයක් රැගත් දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇතැයි නාවික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර 11ක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම බහුදින යාත්‍රාව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ සැකකරුවන් ඊයේ (24) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකළ විශේෂඥ පරීක්ෂාවේදී එම උර තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 172කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් තිබෙන බව තහවුරු විය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 200කට ආසන්න බව නිරීක්ෂණයට එක් වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.

“මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්” යන රජයේ දැක්මට අනුව ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා දැඩි ක්‍රියාන්විත දියත් කර ඇති බවත්, රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පස්දෙනා වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු ලබාදීමට 1818 දරන විශේෂ ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මහජනතාවට අවස්ථාව සලසා ඇති බවද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද සහභාගී වූහ.

Share.
Leave A Reply