රටේ රෝහල්වල ඇඳන් හිඟයට බලපාන ප්‍රධාන ගැටළුව මධුවිත පානය කරන පිරිස් නිසා බවත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍යය යැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
දුම්කොළ හා මත්ද්‍රව්‍යවලට විරුද්ධ වීම අපේ සංස්කෘතියේ අංගයක් වුවත් ඊට විරුද්ධව කෙතරම් සංවිධානාත්මකව ප්රචාරක ක්‍රම දියත්වුවත්, මත්ද්‍රව්‍ය, මත්වතුර සහ දුම්වැටි සමාජ ගත කිරීම අතිශය මනෝ විද්‍යානුකූලව,සංවිධානාත්මකව සහ විශාල මුදලක් ආයෝජනය කර අඳාළ සමාගම් සිදුකරන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවති දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරිය විසින් සංවිධානය කරන ලද සහතික පත් ලබාදීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.
මෙරට සිදුවන මරණ විශාල සංඛ්‍යාවකට මෙන්ම, විශාල රෝග ප්‍රමාණයකට මත්පැන්, මත්ද්‍රව්‍ය සෘජුව බලපාන බැවින් සෞඛ්‍ය අමාත්‍යාශයේ වැය ශීර්ෂයෙන් විශාල මුදලක් මේ සදහා වැය කිරීමට සිදුව ඇති බවත්, එමෙන්ම මෙරට සිදුවන අනතුරුවලින් විශාල ප්‍රමාණයකට ද මත්වතුර, මත්ද්‍රව්‍ය මුලික හේතුවක් වෙනවා.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ සෑම අංශයක්ම විශ්ලේෂණය කර බැලීමේ දී රෝහල් ගතවන රෝගීන්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් ඔවුන් රෝහල් ගතවීමට ඍජුවම දුම්කොළ සහ මත්ද්‍රව්‍ය හේතුකාරක වී ඇති අතර ඒ හේතුවෙන් මෙරට රජයේ රෝහල්වල ඇඳන් ධාරිතාවයෙන් විශාල ප්‍රමාණයක් මේ සදහා වැයකරනවා.
එමෙන්ම අපයෝජනය, මානසික සෞඛ්‍ය ගැටළුව වැනි කාරණයකදී වුව ද මත්වතුර, මත්ද්‍ර ව්යවල සෘජු හෝ වක්‍ර බලපෑම් බහුලව සිදු වී තියනවා.
මෙම තත්වයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැඩි අභියෝගයක් වී තියනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛණවල මෙම දත්ත සටහන්වීමේ දී එහි සටහන් වන්නේ බෝනොවන රෝග, අනතුරු, මානසික රෝග වැනි අංශවලින් වෙන වෙනම බව සදහන්කළ අමාත්‍යවරයා එහි මූලබීජය ඇත්තේ වෙනත් තැනක බැවින්, එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස මේ පිළිබදව ගැඹුරින් සලකා බලමින් කටයුතු කළ යුතුව තියනවා.
විශේෂයෙන්ම තරුණ පරපුර, නව යෞවන වියේ පසුවන පිරිස මෙම මත්ද්‍රව්‍ය හා දුම්කොළ සමාගම්වල ප්‍රධනම ඉලක්කය වී තිබෙන බැවින් ඊට විරුද්ධව සිදුකරන ක්‍රියාකාරකම් වල එම පිරිස් සමග සමීපව හා සහභාගීත්වයක් සහිතව කටයුතු කිරීම වැදගත් වෙනවා.
පාසල්වල මුල් කාර්තුවේ දී පවත්වන මහා ක්‍රිකට් තරඟ ආදී දේවල් දුම්කොළ හා මත්ද්‍රව්‍ය සමාගම් විසින් ඉතා සූක්ෂමව අදාළ දෑ ප්‍රවර්ධනයට පාවිච්චිකරන බව දැකිය හැකියි.
මෙරට ප්‍රජා මනෝ වෛද්‍ය සේවාව වර්තමානයට අවශ්‍ය පරිදි විධිමත් නොවීම ගැටළු සහගත තත්ත්වයක් බවත් පෙන්වා දිය හැකියි.
මෙම අවස්ථාවට දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජතික අධිකාරියේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක, හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ඇලන් ලුඩවයිට්, ශ්‍රී ලංකා වෛද්‍ය සංමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලය් මහාචාර්ය රුවන් ජයසිංහ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ,පාඨමාලා ආචාර්ය විමල් රාජකරුණා, සෟඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එච්. කරුණාරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම සහතික පත්‍ර ලාභීන් හා ඔවුනගේ පවුල්වල සාමාජිකයන් ඇතුළුව පිරිසක් එක්ව සිටියහ.

