
අධිකරණ නියෝග කඩ කරමින් පලාලියේ විරෝධතාවයක නිරත වූ පස් දෙනෙකු අත්අඩංගුවට: රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැරේ
යාපනය (2025 දෙසැම්බර් 21): පලාලි පොලිස් වසමේ තෛයිසෙට්ටි ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් ඉදිරිපිට අධිකරණ නියෝගයක් කඩ කරමින් විරෝධතාවයක නිරත වූ සැකකරුවන් පස් දෙනෙකු අද (21) පලාලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියේ පසුබිම
තෛයිසෙට්ටි ග්‍රාමසේවා වසමේ පිහිටි තිස්ස විහාරයේ ඉඩම් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කරන බවට ලැබුණු තොරතුරක් මත, පලාලි පොලිස් ස්ථානාධිපතිවරයා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් විශේෂ නියෝගයක් ලබාගෙන තිබුණි. එම අධිකරණ නියෝගය මගින් අදාළ ආගමික ස්ථානයට හෝ මාර්ගවලට බාධා නොවන පරිදි කටයුතු කරන ලෙසත්, සාමය කඩවන ආකාරයේ ප්‍රකාශ හෝ බැනර් ප්‍රදර්ශනය නොකරන ලෙසත් දන්වා තිබුණි.
අත්අඩංගුවට ගැනීම සහ චෝදනා
කෙසේ වෙතත්, අදාළ අධිකරණ නියෝගය නොතකා නීති විරෝධී ලෙස රැස්වීම, මාර්ග අවහිර කිරීම සහ සාපරාධී බලහත්කාරකම් පෑම යන චෝදනා යටතේ උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
අධිකරණ තීන්දුව
අත්අඩංගුවට ගත් සැකකරුවන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත. මෙම නඩුව නැවත 2026 ජනවාරි 26 වන දින කැඳවීමට නියමිත අතර පලාලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
වාර්තාකරණය:
- නුවන් ප්‍රසන්න සුමනරත්න
