ලංකා විදුලි බලමණ්ඩලයට පසුගියදා පැවති ආපදා තත්ත්වය හේතුවෙන් රුපියල් කෝටි 2000ක පාඩුවක් සිදුවී ඇති බවට කරන ප්‍රකාශය ආණ්ඩුවේ පට්ටපල් බොරුවක් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.
එම පාඩුව අවසානයේ ජනතාවගෙන් අය කර ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු ලැබෙන අතර,එවැනි ක්‍රියාමාර්ගයකට පෙර විදුලි බලමණ්ඩලය ඉදිරිපත් කරන දත්තවල නිවැරදිතාවය මහජන උපයෝගීතා කොමිසම මැදිහත් වී ස්වාධීනව පරීක්ෂා කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
විදුලි බලමණ්ඩලයේ දත්ත පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව සඳහන් කළ සංජීව ධම්මික මහතා, කෝටි දෙදාහක පාඩුව සඳහා ලෝක බැංකුවෙන් සහාය පැතීම යනු එහි බර පාරිභෝගිකයා මත පැටවීමට සූදානම් වන ක්‍රියාවක් බව පැවසීය.
පාරිභෝගිකයන් ලක්ෂ 78 ක් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් කෝටි 4700කට ආසන්න මුදලක් එකතු කරගන්නා බවත්, එම මුදල් පාරිභෝගික සේවා නඩත්තු කිරීම සඳහාම ලබාගන්නා බැවින් වෙනත් අරමුදල් අවශ්‍ය නොවන බවත් ඔහු කියා සිටියේය.
එමෙන්ම විදුලිය පාරිභෝගිකයාට විකිණීමෙන් රුපියල් බිලියන 467කට ආසන්න ආදායමක් ලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය වසර කිහිපය තුළ විදුලි බලමණ්ඩලයට ලැබුණු නොබෙදූ ලාභ සහ අධික ලාභ රුපියල් බිලියන සියයකට අධික වන බවත්, එම මුදල්වලින් කෝටි දෙදහක පාඩුව පියවීමට හැකි වුව ද ඒ සඳහා පියවර නොගැනීම සැක සහිත බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එසේම රුපියල් බිලියන 150කට අධික තැන්පතු පොළියක් පවතින බවත්, එවැනි අරමුදල් භාවිතා නොකර ණය ගැනීම ගාස්තු සංශෝධන මඟින් නැවත පාරිභෝගිකයා මත බර පැටවීමට කරන “බොරදියේ මාලු බාන” ක්‍රියාවක් බවත් ඒ් මහතා කියා සිටියේය.
විදුලිය ප්‍රවර්ධනය කිරීම සඳහා ණය ගැනීම අනවශ්‍ය ක්‍රියාවක් බවත්, පවතින අරමුදල් නිසි ලෙස කළමනාකරණය කළහොත් එවැනි බරක් ජනතාවට පැටවීම වැළැක්විය හැකි බවත් ඔහු අවසන් වශයෙන් අවධාරණය කළේය.

