දිවයින පුරා දැවැන්ත පොලිස් මෙහෙයුම්: පැය 24ක් තුළ සැකකරුවන් 1,400කට අධික පිරිසක් අත්අඩංගුවට

කොළඹ: පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ, මත්ද්‍රව්‍ය සහ රථවාහන වැරදි මැඩලීම වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මාලාව යටතේ පසුගිය පැය 24 තුළ (2025.12.19) දිවයින පුරා පුද්ගලයින් 1,400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ සහ රථවාහන වැරදි මැඩලීමේ මෙහෙයුම

පොලිස් මූලස්ථානය නිකුත් කළ වාර්තාවලට අනුව, ඊයේ දින සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයින් 29,400ක් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී ලබාගත් ප්‍රධාන ප්‍රතිඵල මෙසේය:

  • අත්අඩංගුවට ගත් සැකකරුවන්: 585 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
  • වර්ණට්කරුවන්: දින වරෙන්තුකරුවන් 296ක් සහ විවෘත වරෙන්තුකරුවන් 147ක් ලෙස මුළු 443 දෙනෙකු කොටු කරගෙන ඇත.
  • රථවාහන වැරදි: බීමත් රියදුරන් 27 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථවාහන සම්බන්ධ වෙනත් වැරදි 3,951ක් වාර්තා වී තිබේ.

“රටම එකට” මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම

මත්ද්‍රව්‍ය ජාවාරම සහ බෙදාහැරීම මුලිනුපුටා දැමීම සඳහා 2025.10.30 දින ආරම්භ කළ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දින පමණක් වැටලීම් 896ක් සිදුකර ඇත. මෙහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 846 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම්වලදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ:

  • හොරොයින්: ග්‍රෑම් 428
  • අයිස් (Ice): ග්‍රෑම් 536
  • ගංජා: ග්‍රෑම් 527ක් සහ ගංජා පැළ 14,502ක්
  • මාවා, මන්දන් මෝදක සහ මත්පෙති ද විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 10 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, 16 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.

මෙම සියලු වාර්තා සහකාර පොලිස් අධිකාරී, අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ එෆ්. යූ. වුට්ලර් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

journalist Nuwan Prasanna Sumanarathna with journalist Yohan Rasindu Uthpala

Share.
Leave A Reply