ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල/විදේශීය සංවිධාන අතර පහත සඳහන් පරිදි අවබෝධතා ගිවිසුම්/ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
තීරයක් සහ මාවතක් සඳහා වන ජාතික හා ජාත්‍යන්තර විද්‍යා සංවිධාන සන්ධානය (Alliance of National and International Science Organizations for the Belt and Road Regions – ANSO) සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අතර දේශගුණික විපර්යාස හා පරිසර දුෂණය පිළිබඳ ජාත්‍යන්තර ජල සමුළුව පැවැත්වීමට අදාළව වන ව්‍යාපෘති ගිවිසුම.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ චීනයේ හොංකොං චීන විශ්ව විද්‍යාලය අතර මනුෂ්‍ය හා සත්ත්ව ප්‍රජාව තුළත්, පරිසරයේත් MRSA (Methicillin Resistant Staphylococcus Aureus) සම්ප්‍රේෂණය වීම පිළිබඳව හා ඒවායේ ක්ෂුද්‍රජීවී නාශක හා ජෛව නාශක ප්‍රතිරෝධය පැහැදිලි කර ගැනීම සහ ජානමය විවිධත්වය අධ්‍යයනය කිරීම අරමුණු කර ගනිමින්, පර්යේෂණ සහයෝගිතා ගිවිසුම (Research Collaboration Agreement) සහ ද්‍රව්‍ය හුවමාරු ගිවිසුම (Material Transfer Agreement).
කැලණිය විශ්ව විද්‍යාලය සහ ජපානයේ – කියෝත්තෝ තොරතුරු විද්‍යා උපාධි අධ්‍යයන විද්‍යාලය අතර අධ්‍යයන සහයෝගිතාව ඉහළ නැංවීම, පීඨ හා සිසුන් අතර අධ්‍යාපන, වෘත්තීය හා සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් මිත්‍රත්වය ඉහළ නැංවීම සහ ඒකාබද්ධ පර්යේෂණ, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.
වවුනියා විශ්ව විද්‍යාලය සහ මැඩ්‍රාස් ඉන්දියානු තාක්ෂණ ආයතනය අතර අන්‍යෝන්‍ය එකඟතාව සහිත ක්ෂේත්‍ර වල අධ්‍යයන හා පර්යේෂණ සහයෝගිතාව ඇති කර ගැනීම, අධ්‍යයන තොරතුරු සහ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම, සිසුන් හා අධ්‍යයන කාර්ය මණ්ඩල හුවමාරුව සහ ඒකාබද්ධ සම්මන්ත්‍රණ, වැඩමුළු සඳහා අනුග්‍රහය ලබා දීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.
ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලය (Indian Council for Cultural Relations) සහ වවුනියා විශ්ව විද්‍යාලය අතර ආරාධිත මහාචාර්යවරුන්ගේ සේවය කොන්ත්‍රාත් පදනම මත වවුනියා විශ්ව විද්‍යාලය වෙත ලබා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.
ශ්‍රී ලංකා විදේශ රැකියා ඒ ජන්සි (පුද්ගලික) සමාගම (SLFEA ) සහ ජපානයේ එන්ටර් ප්‍රයිස් යුනයිටඩ් කෝපරේටිව් (EUC) අතර අවබෝධතා ගිවිසුම
සුරක්ෂිත, ක්‍රමානුකූල සහ විධිමත් මාර්ග ඔස්සේ ජපානයේ රැකියා අවස්ථා වැඩි කර ගැනීම අරමුණු කර ගනිමින් කුසලතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට තාක්ෂණික විෂයයන්, ජපන් භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ අධ්‍යාපනය සමඟ ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික හා වෘත්තීය පුහුණුවක් ලබා දීමත්, ජපානයේ කුසලතා සහිත ශ්‍රමික හිඟය මගහරවා ගැනීමත් අරමුණු කර ගනිමින් සහයෝගිතා වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්ගලික) සමාගම සහ ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබ සාධන අමාත්‍යාංශය යටතේ පවතින එන්ටර්ප්‍රයිස් යුනයිටඩ් කොපරේටිව් අතර සාකච්ඡා පවත්වනු ලැබ ඇත. ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව, සපුගස්කන්ද ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේදී අදාළ පුහුණු වැඩසටහන පැවැත්වීම සඳහා එහිදී එකඟතාවට පැමිණ තිබේ. ඒ අනුව, අදාළ කාර්යය සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්ගලික) සමාගම සහ ජපානයේ එන්ටර් ප්‍රයිස් යුනයිටඩ් කොපරේටිව් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
‘සමාජ සාධාරණත්වය සඳහා වූ ගෝලීය සන්ධානයට’ සම්බන්ධ වීම
සමාජ සාධාරණත්වය සඳහා වූ ගෝලීය සන්ධානය (Global Coalition for Social Justice) රජය, සේව්‍ය සේවක සංවිධාන, මූල්‍ය ආයතන හා සංවර්ධන බැංකු, රාජ්‍ය නොවන සංවිධාන සහ අධ්‍යයන ක්ෂේත්‍ර සමඟ සමාජ සාධාරණත්වය සහ යහපත් වැඩ පරිසරයක් ප්‍රවර්ධනය කිරීම පිණිස සහයෝගීව කටයුතු කරනු ලබන අන්තර්ජාතික ස්වේච්ඡා ආයතනයක් වේ. එම ආයතනය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අතර, ගෝලීයව පවතින සමාජ සාධාරණත්ව අභියෝග වලට කඩිනමින් විසඳුම් ලබා ගැනීමට හැකි සමාජ වේදිකාවක් ද වේ. ඒ අනුව, පුළුල් ලෙස හා නවීන ලෝක ආර්ථික හා සමාජීය ප්‍රවණතා පිළිබඳව සැලකිල්ලට ගනිමින් සේව්‍ය-සේවක ගැටලු වලට අදාළ තීරණ ගැනීම සඳහා මෙන් ම, සේවකයින් රැකබලා ගැනීමේ සේවා ශක්තිමත් කිරීම, ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම, අවිධිමත් රැකියා අංශ සේවකයින්ගේ අභිවෘද්ධිය තහවුරු කිරීම, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක අනතුරු රක්ෂණය, මාතෘ හා විරැකියා රක්ෂණය ආදී සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා එම ගෝලීය සංසදයට එක් වීම තුළින් ඉටු කර ගැනීමට හැකි වනු ඇති බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, සමාජ සාධාරණත්වය සඳහා වූ ගෝලීය සන්ධානයට හවුල්කාර සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශය සම්බන්ධ වීමටත්, එම සන්ධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස කම්කරු විෂය භාර අමාත්‍යාංශය කටයුතු කිරීමටත් කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වෛද්‍ය සැපයුම් අංශය සඳහා ගබඩා පහසුකම් ලබා ගැනීම
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයීම් අංශය මඟින් රෝගී සත්කාරක සේවාවන් සඳහා අවශ්‍ය වන ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් හා ඖෂධ අයිතමයන් සපයාගෙන ගබඩාගත කර සෞඛ්‍ය ආයතන වෙත බෙදා හැරීම සිදු කරනු ලැබේ.
දැනට වෛද්‍ය සැපයීම් අංශය සතුව පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් වනුයේ සමස්ත වාර්ෂික ඖෂධ පරිභෝජනයෙන් ආසන්න වශයෙන් දින 22ත් 30 ත් අතර කාලයක් සඳහා වූ තොග ගබඩා කර තබා ගැනීමට පමණි.
කෙසේ වුව ද, නියමිත කාලයේදීම ඇණවුම් ලබා දීම මඟින් සියලුම සැපයුම් වල මාස 06කට වැඩි කාලයක් සඳහා අවශ්‍ය වන සැපයුම් ඉදිරි මාස කිහිපය තුළ ලබා ගැනීම තුළින් ඖෂධ හිඟය අවම කිරීමටත්, මාස 03 ක කාලයක් සඳහා ස්වාරක්ෂක තොගයක් පවත්වා ගෙන යාමටත් මේ වන විට සැලසුම් කර ඇති බැවින්, එයට ගැළපෙන පරිදි ගබඩා ධාරිතාව වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් මතු වී ඇත.
ඒ අනුව, අදාළ කාර්යය සඳහා භාවිත කිරීමට හැකි වන පරිදි ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු වේයන්ගොඩ පිහිටි ඉඩමේ ඉදි කර ඇති වර්ග අඩි 30,000 බැගින් වූ ශීතදාම ගබඩා 02 ද ඇතුළුව ගබඩා ගොඩනැගිලි 03 ක් හා ඊට අදාළ ඉඩම් කොටස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා; සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ සෞදි තැපැල් සංස්ථාව (Saudi Post Corporation) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 2024 වර්ෂය වන විට අවුරුදු පනහක් (50) සම්පූර්ණ වීම සනිටුහන් කිරීම, දෙරටෙහි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ දෙරටෙහි ජනතාව අතර අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීම යන අරමුණු සහිත ව දෙරටේ ඓතිහාසික ස්ථාන පදනම් කර ගනිමින් සමරු මුද්දර දෙකක් නිකුත් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, අදාළ සමරු මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ සෞදි තැපැල් සංස්ථාව (Saudi Post Corporation) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2026 ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සම – සත්කාරකත්වය සැලසීම
ආසියානු සංවර්ධන බැංකුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව මඟින් එම බැංකුවේ සාමාජික රටවල ණය කළමනාකරුවන්ට රාජ්‍ය ණය කළමනාකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් බෙදා ගැනීමට, අභියෝග සාකච්ඡා කිරීමට සහ කලාපීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසේ. 2026 ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව, ණය කළමනාකරණ මෙහෙයුම්, අභියෝග හා නව ප්‍රවේශයන් කෙරෙහි අවධානය යොමු කරන සමීක්ෂණ වලින් හා තාක්ෂණික වැඩමුළු වලින් සමන්විතව දින 4-5ක කාල සීමාවක් තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා සාමාජික රටවල මුදල් අමාත්‍යාංශ, මහ බැංකු, ණය කළමනාකරණ කාර්යාල සහ අනෙකුත් අදාළ ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වීමට නියමිත ය. රාජ්‍ය ණය කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තිය වැඩි දියුණු වීම, ආසියානු සාමාජික රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ද්වීපාර්ශ්වික හා කලාපීය සබඳතා ශක්තිමත් වීම, ණය කළමනාකරණ මෙහෙයුම් සඳහා දැනුම හුවමාරුව සහ ධාරිතා වර්ධනය ප්‍රවර්ධනය ආදී ප්‍රතිලාභ මෙම සමුළුවේ සත්කාරකත්වය දැරීම හරහා අත්කර ගැනීමට හැකි වනු ඇත. ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව 2026 මැයි මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සම-සත්කාරකත්වය දැරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පහළ මල්වතුඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම
මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය හා කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන ජල හිඟය මග හැරවීම සහ තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ අක්කර 30,690 ක් වූ කුඹුරු ඉඩම්වල වගා තීව්‍රතාවය ඉහළ නැංවීම, ජල විදුලි උත්පාදනය, පානීය ජල සම්පාදනය ආදී අරමුණු සහිත ව 2016 වර්ෂයේදී පහළ මල්වතුඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. රුපියල් මිලියන 22,900ක් වන එම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව සඳහා 2019-07-19 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී ඇත. ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුව ද, එවකට පැවති කොවිඩ් – 19 වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් නැවත ක්‍රමෝපායන හා කඩිනම් කිරීමේ (RAMP) කමිටුවේ තීරණය පරිදි 2022 වර්ෂයේදී තාවකාලිකව අත්හිටුවනු ලැබූ එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට නැවත ආරම්භ කර තිබේ. තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශය මත පදනම්ව අදාළ ව්‍යාපෘතියේ වර්තමාන මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් බිලියන 47.18 ක් ලෙස ගණනය කර ඇත. ඒ අනුව, පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුව රුපියල් බිලියන 47.18 ක් ලෙස සංශෝධනය කර දේශීය අරමුදල් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ව්‍යාපෘති කාලසීමාව 2030-12-31 දක්වා දීර්ඝ කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳ පොළට මුදා හැරීම
2025 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 6,000ක පමණ අරමුදල් භාවිත කරමින් වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේදී මිලට ගත් වී තොග මේ වන විට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ගබඩා කරනු ලැබ තිබේ. වෙළෙඳ පොළ තුළ අඛණ්ඩ සහල් සැපයුමක් තහවුරු කිරීම සඳහා එම වී තොග, 2025 වසර සඳහා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් මඟින් සහල් කර, ලක් සතොස සහ සමූපකාර ජාලය හරහා වෙළෙඳ පොළට නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා; සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ‘e-Court’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය විසින් හඳුනාගනු ලැබ ඇත. එම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ මුල් අදියර ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නඩු ගොනු කළමනාකරණය සඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) හඳුන්වා දී සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී. ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා සංවර්ධනය කරන ලද අන්තර්ජාල වෙබ් අඩවිය සහ e-CMS පද්ධතිය, අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඇතුළු දිවයින පුරා විහිදී ඇති සියලුම අධිකරණ සඳහා ද අනුවර්තනය කර යොදා ගැනීම ‘e-Court’ ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරනු ලබයි. එමඟින් ජාතික අධිකරණ දත්ත ජාලයක් (National Judicial Data Grid) ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, දීර්ඝකාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිදභාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රවේශයට බාධා කිරීමේ හා ක්‍රියාපටිපාටිමය අකාර්යක්ෂමතා එමඟින් මග හැරවීමට හැකි වනු ඇත. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, 2026-2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන හා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උපාය මාර්ගය සමඟ අනුකූල වෙමින් ‘e-Court’ ව්‍යාපෘතිය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන වලින් ‘e-Court’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වැඩ ලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2019 වර්ෂයේ පවත්වන ලද ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වැනි සැසිවාරයේදී සම්මත කරනු ලැබ ඇති වැඩ ලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (C190) එම කරුණ සම්බන්ධයෙන් ඇති කරගනු ලැබ ඇති පළමු ජාත්‍යන්තර සම්මුතිය වශයෙන් සැලකේ. එම සම්මුතිය 2021-03-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2021-05-04 දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබ තිබේ. එකී සම්මුතිය අපරානුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම මඟින් පෞද්ගලික සහ අවිධිමත් රැකියා වැඩ බිම් තුළ පවතින ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර පිටු දැකීම, සුරක්ෂිත සේවා ස්ථානවල සතුටින් සේවය කිරීම තහවුරු වීම මෙන්ම ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම කෙරෙහි ධනාත්මකව බලපානු ඇත. ඒ අනුව, වැඩ ලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම සඳහා සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා වන නෛතික විධිවිධාන හඳුන්වා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරන ලද එස්.එස්.මුදලිගේ මහතා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරකට පත් වීම හේතුවෙන් ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර මේ වන විට පුරප්පාඩු ව පවතී. එම තනතුර සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරක දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, එස්.එච්.වී.කුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ පී.ඒ.එස්.අතුල කුමාර මහතා 2025-12-03 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් එම තනතුර මේ වන විට පුරප්පාඩුව පවතී. ඒ අනුව, පුරප්පාඩුව පවතින රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරක දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි බී.ඒ.ටී.රුද්‍රිගෝ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

