දිවයින පුරා පුද්ගලයන් මිලියන 2.2ක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අතර පූර්ණ නිවාස හානි 6,164ක් සහ අර්ධ නිවාස හානි 112,110ක් සිදුව තිබේ. ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 796ක, පුද්ගලයන් 72,911ක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.
එම ජනතාවට සහන සැලසීම, යළි පදිංචි කිරීම සහ ජීවනෝපාය මාර්ග යළි ගොඩනඟමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදි තිරණය කෙරිණි.
මධ්‍යම කඳුකරය රැක ගැනීම සඳහා ස්ථීර විසඳුමක් සෙවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට අවදානම් කලාපයේ පවතින නිවාස 15,000ක් හඳුනාගෙන තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, 2026 වසර අවසන් වන විට එම ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස 8,000ක කටයුතු සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
ගංවතුරට හසු වූ නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ලබා දීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම ගැටලු විසඳා ගනිමින් මෙම සතිය තුළ අදාළ මුදල් ගෙවා අවසන් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දත්ත රැස් කිරීමේදී සහ යාවත්කාලීන කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එම කටයුතු සඳහා විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. ඒ වෙනුවෙන් නීති සම්පාදනයේ අවශ්‍යතාව මෙන්ම, ප්‍රායෝගික වැඩපිළිවෙළක් තුළින් ඉදිරි වසර 03 තුළදී එම ගැටලුව සඳහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2016 වසරේ සිදු වූ ගංවතුර හේතුවෙන් හානි පූර්ණය සඳහා රුපියල් බිලියන 7.51ක් ජනතාවට ලබා දුන් නමුත්, ප්‍රතිරක්ෂණ ප්‍රතිසාධනය සිදුව ඇත්තේ රුපියල් බිලියන 1.42ක් බැවින්, එහිදී රජයට රුපියල් බිලියන 5.79ක පාඩුවක් සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය හදුනාගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදි අනාවරණය කළේය.
එම රක්ෂණ ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් එය රජයට වාසි සහගත සහ ප්‍රතිලාභීන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සැලසෙන පරිදි වන රක්ෂණ ක්‍රමයක් විය යුතු බවත්, එය නැවතත් ආරම්භ කරන්නේ නම් විශේෂඥ උපදෙස් ලබාගෙන එහි අත්‍යවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

