සිංහල ආණ්ඩුවේ පාලකයන්ට දෙමළ අමතක වීම රට හමුවේ බරපතල තත්ත්වයක් බව සම අයිතිය ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජික තැන්නේ ඤාණානන්ද හිමියෝ පැවසූහ.
මේ සම්බන්ධයනේ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් බව ද උන් වහන්සේ පැවසූහ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊයේ (15) දින ලිපියක් භාර දෙමින් මාධ්‍යයට උන් වහන්සේ මෙසේ ද පැවසූහ.
අපි අද ජනාධිපතිවරයාට සම අයිතිය ව්‍යාපාරය විදිහට ලිපියක් බාර දෙන්න හිතුවේ පසුගිය ආපදා සමයේ රජය පාර්ශවයෙන් සිදුවූ අතපසුවීමක් සම්බන්ධයෙන් දැනුවත් කරන්න. මේ ව්‍යසනය වෙලාවේ රජයේ නිල නිවේදන දිහා බලද්දි අපිට තියනවා මතුවෙනවා ගැටලුවක්.
මොකද ආපදාව සම්බන්ධයෙන් රජය නිකුත් කරපු නිවේදන සියල්ලම නිකුත් වුනේ සිංහල භාෂාවෙන් විතරයි. දෙමළ භාෂාවෙන් කිසිඳු නිල නිවේදනයක් නිකුත් වුනේ නැහැ.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිවේදන, අනතුරුදායක සහ අවදානම් කලාපවලින් ඉවත් වන ලෙස දැනුම් දෙන නිවේදන, ආපදා කළමනාකරණ කමිටුවේ නිල නිවේදන මේ හැම එකක්ම නිකුත් වුනේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් විතරයි.
මේ ගැටලුව මෙවැනි ආපදා තත්වයකදි විතරක් නෙවෙයි දකින්න ලැබෙන්නේ. පසුගිය කාලයක් පුරාවට බලයේ හිටපු සියලු ආණ්ඩුත් රජයේ නිල කටයුතුවලදී දෙමළ භාෂාව නොසලා හරිමින් තමයි කටයුතු කළ බවයි.
මේකෙන් මේ රටේ දෙමළ භාෂාව කතා කරන සියටට 25 ක් පමණ වන ජනතාවකට වෙන්නේ බරපතළ අසාධාරණයක්. ආපදාවෙන් බැට කනවට අමතරව ඒ මිනිස්සුන්ට තමන් කථාකරන භාෂාව නිසා තවත් ආපදාවකට ලක් වෙන්න වෙලා.
මේකට ආසන්නම උදහරණයක් තමයි පසුගිය දවසේ ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාව. ඒ කතාව දෙමළ භාෂාවෙන් පරිවර්තනය කරන්නවත් ආණ්ඩුව කටයුතු කළේ නෑ.
බරපතළ වැරද්දක්. මේ වැරද්ද වෙන ආණ්ඩුවක් අතින් වුනා නම් අපිට හිත හදාගන්නවත් තිබුණා. මොකද ඒ සියලු ආණ්ඩුවලට තියෙන්නේ අන්ත ජාතිවාදී ප්රවේශයන්. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවෙම ඒ ජාතිවාදී කල්ලිවල දූෂිත පාලනයට එරෙහිව.
ආණ්ඩුව ඡන්දෙට කලින් යාපනේට ගිහිල්ලා මැතිවරණ වේදිකාවල සමාන අයිතිවාසිකම් ගැන කතන්දර ගොඩක් කිව්වා. හැබැයි දැන් ඒ සියල්ල අමතක කරලා මේ ආණ්ඩුවත් පරණ පාරෙම යන්න පටන් අරගෙන. තවමත් රටක් විදිහට අපි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේදී අනුගමනය කරමින් ඉන්නේ සිංහල පමණයි කියන 1956 බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ භාෂා ප්රතිපත්තියද ? කියන ප්රශ්නය අපි මේ වෙලාවේ ආණ්ඩුවෙන් අහන්න කැමතියි.
අපි දන්නවා ඒ විනාශකාරී භාෂා ප්‍රතිපත්තිය අන්තිමේට මේ රට දශක තුනක යුද්ධයක් දක්වා ඇදගෙන ගියා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න.
විශේෂයෙන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමේදී මේ රටේ දෙමළ සහ මුස්ලිම් ජනතාවත් විශාල කාර්යභාරයක් කළා. ඒ නිසා ආණ්ඩුවට පුලුවන් කමක් නෑ ඒ ජනතාව නොසලකා කටයුතු කරන්න.
ඒ නිසා දැන්වත් මේ සිදු වූ වැරද්ද පිළි අරගෙන ඒක නිවැරදි කරන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවේ ජනාධිපතිවරයාටත් ජාතික ජන බලවේග ආණ්ඩුවටත් ඉදිරිපත් කරනවා.

