දිට්වා සුළිකුණාටුව නිසා පීඩාවට පත් ළමුන් සදහා උපකාර කිරීම හා  ව්‍යාජ පුද්ගලයන් සම්බන්ධයන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පැවසූවාය.

මේ සම්බන්ධයෙන් ඇය මෙසේ ද කීවාය.

දිස්ත්‍රික් 16ක් තුළ සුරක්ෂිත මධ්‍යස්ථාන 878ක් පවත්වාගෙන යන අතර පවුල් 27,145ක් සහ පුද්ගලයන් 86,040ක් එම මධ්‍යස්ථානවල සිටී. මෙම ආපදා තත්ත්වය නිසා විපතට පත් ළමුන් සහ වැඩිහිටියන් දෙපාර්ශවයම තම සුපුරුදු ජීවිතවලින් සහ පරිසරවලින් ඈත්ව තිබීම දැකිය හැක. විශේෂයෙන්ම ළමුන්ට තම දෙමාපියන් හා ඥාතීන් අහිමිවීම මෙන්ම පාසල් පරිසරය අහිමිවීම තුළින් ඔවුන් දැඩි මානසික පීඩනයකට මෙන්ම අනාගතය පිළිබඳ බියක් සහ අරමුණු පිළිබඳ අවිනිශ්චිත බවක් ඇතිව කාලය ගතකරමින් සිටී.

මෙවැනි ආපදා තත්වයක් තුළ දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින සහ ආපදා ඇතිවූ ප්‍රදේශවල නිවෙස් තුළ සහ වෙනත් ස්ථානවල වෙසෙන ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛත්වය ලබාදිය යුතුය.

ළමුන් ශාරීරික, මානසික, ලිංගික අපයෝජනයට පත්වීම හෝ නොසලකාහැරීම මෙවැනි අවස්ථාවල සිදුවිය හැක. එවැනි තත්ත්වයක් යටතේ අනාරක්ෂිත ළමුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ වයස 18 වනතුරු අධ්‍යාපනය, ආහාර, ආරක්ෂාව යන සියලු වගකීම් භාරගන්නා බවට විවිධ පුද්ගලයන්, සංවිධාන ඉදිරිපත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ සංසරණය වන බව අප විසින් නිරීක්ෂණය කොට ඇත. එවැනි ක්‍රියාවලට නොරැවටෙන ලෙසත් එලෙස වංචනික ක්‍රියාවල නිරතවෙන පුද්ගලයන්, ආයතන හෝ සංවිධාන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවටත් අවධාරණය කරන අතර එවැනි තොරතුරු ඇත්නම් පැය 24 පුරා ක්‍රියාත්මක වන 1929 ළමා උපකාරක දුරකතන අංකය වෙත වහාම දැනුම් දෙන්න.

ළමුන් සම්බන්ධයෙන් පුද්ගලයෙකුගෙන් හෝ බාහිර ආයතනයකින් සහය ලබාදීම සඳහා දෙමාපියන් සහ වැඩිහිටියන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී සහ දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරී යන රාජ්‍ය නිලධාරීන් දැනුවත්කර සහාය ලබා ගැනීමට හෝ 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දීම සිදුකල හැක.

ගංවතුර හා නායයෑම් මගින් ආපදාවට ලක්වූ ළමුන්හට උපකාර කිරීමට හෝ දායකවීමට කැමති නම්  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ඉහත දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින අතර එවැනි විටක ඔබේ අව්‍යශතාවය පරිදි  අවශ්‍ය සහය ලබාදීමට අප විසින් කටයුතු කරනු ලැබේ.

දැයේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා ඔබ ලබා දෙන්නාවූ සහයෝගය අතිශය අගයකොට සලකන අතර ආපදා තත්වය තුළ ළමුන් අපයෝජනය වීම වළක්වා ගැනීම ඔබගේ යුතුකමක් බවට ද ඇය කීවාය.

Share.
Leave A Reply